ශ්‍රී ලංකා මලල ක්‍රීඩා අම්බරේ සුපුන් සඳ යුපුන්

316

මෙරට මලල ක්‍රීඩා ලෝලීන්ට කලෙකින් පසු සතුටු විය හැකි පුවතක් පසුගියදා අසන්නට ලැබුණි. ඒ පුවත වාර්තා වූයේ ස්විට්සර්ලන්තයෙනි. ස්විට්සර්ලන්තය යනු ලොව ප්‍රීතිමත්ම ජීවිත ගත කරන මිනිසුන් වෙසෙන රටකි. අපේ රටට සාපේක්ෂව අහසට පොළොව වැනි වූ රටකි.

නේක දෝමනස්සයන්ගෙන් පිරි අප වැනි රටක ජනතාවට ස්විට්සර්ලන්තයෙන් ලැබුණු ඒ පුවත කනට මී බිඳු බඳු විය. බලාපොරොත්තු ඇති කරනසුලු විය. ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් අවසන් කළ බව ඉන් කියවිණි. එවන් පුවතකින් තුටු නොවී සිටිය හැක්කේ කාට ද? එවැනි දස්කමක් මේ මුළු දකුණු ආසියාවෙන්ම වාර්තා වූයේ පළමුවරට ය. ආසියාවෙන් දහවෙනි වරටය. ඔහු ආසියාවට එල්ල කළ එම අභියෝගය තව කල් නොගොසින් මුළු ලෝකයටම අභියෝගයක් වනු ඇත. ඒ බැව් යුපුන්ගේ අතීත වාර්තා පරෙස්සමින් විමසන විට දැක ගත හැක. ඔහු මුලින්ම අභියෝග කළේ තමාටය. අනතුරුව ඔහු අතින් ශ්‍රී ලංකා වාර්තාව ද අලුත් විණි. තත්පර 10.22කින් මීටර් 100 ඉසව්ව අවසන් කර හිමාෂ ඒෂාන් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව යුපුන් අතින් 2020 වසරේදී බිඳී ගියේය. ඒ ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදීය. එතැන් පටන් ඔහු ලංකාවට ලොක්කා විණි. ඉක්බිතිව ඔහුගේ විනෝදාංශය වූයේ වාර්තා අලුත් කිරීමයි. ඒ ගමනේදී ඔහු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පසුගිය මැයි මාසයේ දී පත් වූයේය. යුපුන් ඒ දස්කම කළේ ද ජර්මනියේ දී ය. එවර ඔහු මීටර් 100න් පමණක් නතර වූයේ නැත. ඔහුගේ අනෙක් ඉසව්ව වන මීටර් 200 ඉසව්වෙන් ද දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමට යුපුන් එවර සමත් වූයේය. මීටර් දෙසීය දකුණු ආසියානු වාර්තාවට මීට පෙර හිමිකම් කිව්වේ ඉන්දියානු ක්‍රීඩකයෙකි. ඔහු තබා තිබූ තත්පර 20.52 වාර්තාව යුපුන් විසින් 20.37 දක්වා අලුත් කළේය. එවර ඔහු මීටර් 100 සඳහා ගත කළ කාලය වූයේ තප්පර 10.06 කි. එතැන් පටන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වූයේ යුපුන් ය. බිලියන 1.9ක තරම් ජනතාවගෙන් වේගවත්ම මිනිසා ලෙස යුපුන් අභිෂේක ලැබුවේ මිලියන 22 ක ජනතාවක් වෙසෙන රටක උපන් දරුවකු ලෙසිනි. එය මේ පුංචි රටට මහමෙර තරම්ය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවන් දෙකක් වාර්තා වේ. ඒ අවස්ථාවන් ලෙස සැලකෙන්නේ ඩන්කන් වයිට් 1948 වසරේදී කඩුලු පැනීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක් සහ 2000 වසරේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමය. 2000 වසරෙන් පසුව දැන් යළිත් එවැනි බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියෙන් මෝදු වෙමින් පවතී. එහි උච්චතම අවස්ථාව යුපුන් පසුගියදා මීටර් 100 ඉසව්ව තප්පර 10 ට අඩු කාලයකින් නිමා කිරීමය. එවැනි දස්කමක් කළ අවස්ථාවන් ලෝකයෙන් වාර්තා වන්නේ 169කි. එසේම යුපුන් වාර්තා කළ කාලය ලොව වේගවත්ම 118 වෙනි කාලයද වේ. දැන් අපට නැවුම් බලාපොරොත්තුවක් වේ. තව නොබෝ දිනකින් යුපුන් ඇමරිකාවේ දී පැවැත්වෙන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට නියමිතය. එම තරගාවලිය මේ මස 15 වැනිදා ආරම්භ වේ. යුපුන් අනුන් මෙන් කටමැත දොඩවන්නෙකුද නොවේ. පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් නිම කිරීමෙන් පසු යුපුන් කළ ප්‍රකාශයකින් ඒ බව හෙළි වෙයි. ඔහු එළඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තරගය නියෝජනය කිරීම සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම මේ අවුරුද්ද පටන් ගනිද්දි අපට තිබුණු ඉලක්කයක්. මොකද අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා. කාලයක් තියෙනවා. අපිට පුළුවන් සීමාව අපි දන්නවා. ඒ නිසා මං බොරුවට මට ඒක කරන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. මේ කාලයත් එක්ක තව හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වුණොත් මම හිතනවා මට වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේදි.”

ඔහු එසේ නිහතමානීව ප්‍රකාශ කළ ද පිරිමි මීටර් 100 ට අදාළ ලෝක ශ්‍රේණිගත කිරීම්හි හොඳම ක්‍රීඩකයන් විසිපස්දෙනා අතරටද යුපුන් දැන් පත්ව ඇත. එහි වත්මන් ශ්‍රේණිගත කිරීම්වල 24 වන ස්ථානයේ යුපුන් වැජඹෙයි. ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහට පසුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල හොඳම ක්‍රීඩකයන් 25 දෙනා අතරට එක්වීමට වරම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද යුපුන් වේ. එසේම යුපුන් වාර්තා කළ තත්පර 9.96 කාලය මෙම වසරේ එම ඉසව්වෙන් වාර්තා වූ හොඳම පහළොස්වෙනි කාලය ලෙසද සටහන් වේ. එම දක්ෂතාව පිළිබඳව යුපුන් මෙසේ ප්‍රකාශ කර තිබුණි.

“ඒක මාරම සතුටු හිතෙන දෙයක්. මම ගොඩක් කාලෙක ඉඳන් ඒකට උත්සාහ කළා. ඔයාලත් බලන් හිටියා. මේ දවස් එනකම්. මේක හීනයක්. ඇත්තටම ලංකාවට වගේම දකුණු ආසියාවටම. ඒ හීනෙට යන්න මම අවුරුදු ගණනාවක් මහන්සි වුණා. මම දැනං හිටියා මේ අවුරුද්දෙ මට මගේ හීනෙට යන්න පුළුවන් වෙයි කියලා. ඒක මට නිකං හිතුණු දෙයක් නොවෙයි. ඒක මම හා මගේ පුහුණුකරු සැලසුම් කරලා අවුරුදු තුනක් තුළ ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක්. මේ අවුරුද්දේ මේ කාලේ වනවිට ඒක කරන්න පුළුවන් කියලා අපි දෙන්නම දැන ගෙන හිටියා. මොකද මේ තරගයේ මැජික් කරන්න බැහැ. පියවරෙන් පියවර අපි දියුණු කරගෙන යන්න ඕන. මම මේ අවුරුද්ද පටන් ගත්ත දවසෙ ඉඳන් උත්සාහ කරා ඒක කරන්න. ඒත් මට අවස්ථා කිහිපයක්ම මග හැරුණා.

මගේ අවුරුදු ගාණක මහන්සිය තියෙන්නෙ මේ තත්පර නවය ඇතුළේ. එම පියවරක් මග හැරුණෙත් ඔක්කොම ඉවරයි. මම ගොඩක් බලාපොරොත්තු තියං හිටියා වගේම දුකක් තිබ්බා ඇයි මට මේක තාම කරන්න බැරි කියලා. ඇත්තටම මාරම සතුටුයි. ඉතින් ඒ ගැන කියාගන්න වචන නැහැ.”

යුපුන් සිය හදවතට දැනුණු ප්‍රීතිය එසේ වචනවලට පෙරළා ඇත. යුපුන් දැඩි අදිටනින් යුතුව යන මේ ගමන දෙස සමස්ත රටවැසියෝ ම ආශිර්වාද කළ යුතුය. මේ වෙන විට ඔහු ඉතාලියේ සිටියත් ඔහු තබන හැම පියවරක්ම උපන් රට වෙනුවෙනි. මේ මාතෘ භූමිය වෙනුවෙනි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment