ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල ආරම්භයක්

201

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේදී පළමු දිනය වූ පෙරේදා (21 වැනිදා) දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සදීෂ රාජපක්ෂ ලකුණු 11 කට දැවී යෑමත් සමඟ තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඒ අනුව පුහුණු තරගයේදී ශතකයක් වාර්තා කළ අසිත වන්නිනායක ලකුණු 13 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියි. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් පිල ලකුණු 387 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී කැපී පෙනුණු දුවිඳු රණතුංග ලකුණු 100 කට කඩුලු 4 ක් දවා ගනිද්දී දුලාජ් සමුදිත සහ වනුජ සහන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝර්ජ් බෙල් ලකුණු 107 ක් ලබා ගත් අතර රොස් වයිට්ෆීල්ඩ් සහ බර්ටි ෆොර්මන් අර්ධ ශතක වාර්තා කළහ. වයිට්ෆීල්ඩ් සහ බෙල් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක සම්බන්ධතාවයක්  ගොඩනැඟූහ. දුවිඳු රණතුංග වයිට්ෆිල්ඩ්ගේ කඩුල්ල දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමූවද අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි බර්ටි ෆෝර්මන් පන්දු 56 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 58 නිසා ලකුණු 400 සීමාව ආසන්නයට යෑමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී එංගලන්ත පළමු ඉනිම පසුකර යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 9 ක් ඇතුළතදී ලකුණු 362 ක් ලබාගත යුතු විය.

එංගලන්ත යොවුන් පිල පන්දු වාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටි ෆෝර්මන් (නොදැවී 58), රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකාව පන්දු වාර 8.3 කදී කඩුල්ලකට ලකුණු 25 යි

advertistmentadvertistment
advertistmentadvertistment