ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට රුපියල් මිලියන 1173ක අතිකාල

66

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2021 වර්ෂය තුළදී රුපියල් මිලියන 1,173ක අතිකාල දීමනා ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. එම වර්ෂය තුළ වරාය අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති සමස්ත අතිකාල දීමනා මුදල රුපියල් මිලියන 5,850ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

අතිකාල ගෙවීම සම්බන්ධයෙන් කළ වැඩ වාර්තා විගණනය සඳහා ඉදිරිපත් කොට නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. අධිකාරියේ කළමනාකාරිත්වය විසින් කාර්ය මණ්ඩලය ඵලදායීව සේවයේ යොදවා අතිකාල වියදම් අඩු කරගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම අධිකාරියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සෘජුව සම්බන්ධතාවයක් නොදක්වන අංශ 12ක සේවකයින් 427 දෙනෙකුගේ අතිරික්තයක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට අධිකාරියේ කොට්ඨාස 24 මගින් ඉදිරිපත් කරනු ලැබූ කාර්ය මණ්ඩල විස්තර අනුව තනතුරු 77කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 513 දෙනෙකු සේවයේ යොදවා තිබුණි. එහෙත් අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධතාවයක් දක්වන අංශයන්හි සේවකයන් 633 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ එක් එක් කොට්ඨාසයේ කාර්යාල කටයුතු සඳහා කළමනාකරණ සහකාරවරුන්ගේ සේවා අවශ්‍යතාවය පවතින බැවින් ඉහත සඳහන් පරිදි අතිරික්තයක් ලෙස පෙනෙන කළමනාකරණ සහකාරවරුන් සඳහා නිතිපතා ඉටුකිරීමට රාජකාරි පවතින බවය. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද සේවක සංඛ්‍යාව තුළ විවිධ කාර්ය සහායක, සෞඛ්‍ය සේවක, ඡායා අනුපිටපත්, යන්ත්‍ර ක්‍රියාකරු, මුළුතැන්ගෙයි සහායක යන තනතුරු ඇතුළත්ව නොමැති බවද අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. එම තනතුරු හා තවත් තනතුරු කිහිපයක් වෙනුවට වැඩ සහායක තනතුරු අලුතින් ඇතිකොට ඇත. එහෙත් ඉහත තනතුරුවල එවකට සිටි සේවකයන් එම තනතුරු නාමයන් වලින්ම සිටින බැවින් ඔවුන් අතිරික්තයක් සේ පෙන්නුම් කරනු ඇති බවද අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි- ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment