ශ්‍රී ලංකා විද්‍යාලය

812

(මිනී මැරීම පුරුදු කරන පන්ති පවත්වනු ලැබේ)

මීට දින කිහිපයකට පෙර කොටහේනේ කුඩා ගරාජයකට කඩා වැදුණු මැරයන් දෙදෙනෙක් ගරාජයේ අයිතිකරුට වෙඩි තබා පැන ගියහ. කෙනෙක් තව කෙනකුට නිකන්ම වෙඩි තබන්නේ නැත. ගරාජ් වෙඩිල්ලේ ඇත්ත කතාව කුමක්දැයි අපි නොදනිමු. කෙසේ වුවද වෙඩි කෑ ගරාජ් හිමියා මේ වන විටත් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මොරටුවේ කොරලවැල්ල ප්‍රදේශයේ මහමගදී දෙනෝදාහක් මැද තියුණු ආයුධයක් රැගෙන ආ පුද්ගලයෙක් විදුලි කාර්මිකයකුගේ අත් දෙකම කපාගෙන ගෙන ගියේය. ඒවා හරියටම වැලමිටෙන් පහළට කපා වෙන්කර ගන්නා ලදී. සාහසිකයා පැමිණියේ තනිවමය. කපාගෙන ගිය අත්දෙක ඉක්මනින් හමුවූයේ නම් යළි බද්ද කිරීමේ හැකියාව තිබූ බව වෛදවරු කීහ. සමහරවිට සාහසිකයා අත්දෙක ගෙනයන්නට ඇත්තේ එය නැවත බද්ද කිරීමේ අවස්ථාව නැති කරලනු පිණිසය. ගරාජ් සිද්ධියත් අත් කපාගෙන යෑමේ සිද්ධියත් යන දෙකම cctv කැමරාවල සටහන්ව තිබූ අතර පසුව රූපවාහිනී සේවාවන් මගින් පෙන්වන ලදී. කෙනකු තවත් කෙනකුගේ අත් දෙක කපාගෙන යන්නේ නිකන්ම නොවේ. එය පිටුපස විශාල හේතුවක් තිබෙන්නට පුළුවන. මෙකී අංග ඡේදනය පිළිබඳ සැබෑ කතාව අපි තවමත් නොදන්නෙමු.

සතුන් මරමින් මස් පලහාගෙන කමින් හෙළුවැල්ලෙන් වනාන්තරය පුරා දිව ගිය මනුෂ්‍යයා ශිෂ්ට සම්පන්න වුණේ අවුරුදු දස දහසක් වැනි කාලයක් තුළය. පෘතුවියේ වයස දෙස බැලීමේදී මෙය විනාඩියක් වැනි කෙටි කාලයකි. යුරෝපයේ ජනතාව නිරුවතින් සිටි අවධියේදී ලංකාවේ ජනයා සිටියේ ඇඳුම් ඇඳගෙනය. විජය රජු මෙරටට ගොඩබසින විට කුවේණිය කපු කටිමින් සිටි බව ඉතිහාසයේ සඳහන්ය. ඇය කපු කැට්ටේ නූල් බිස්නස් එකකට නොව රෙදි බිස්නස් එකකටය. රෙදි කුමටද? විලි වසා ගැනීම පිණිසය. විජයාගමනය මීට අවුරුදු 2500 ට පමණ පෙර සිදුවිය. වංශ කතාවල එන පරිදි විජය රජු ලංකා වෙරළට පා තබන දවසේදී බුදුන් වහන්සේ පරිනිර්වාණගත වූහ. අවුරුදු 2500 ට පෙර විජය කුමාරයා මෙහි එන්නේ හෙළුවැල්ලෙන් නොවේ. ඔහු එනවිට කුවේණිය සිටින්නේද හෙළුවැල්ලෙන් නොවේ. එහෙත් කාලය අපට කොතරම් නරක ලෙස සලකන ලද්දේද යත් සුද්දා ඇඳුම් පිළියෙල කරගෙන විලි වසා ගැනීමේ ශිෂ්ටාචාරය පටන්ගත් කල්හි මේ රටේ මිනිස්සු අමුඩ කෑලි ගහගෙන කැලෑ මණ්ඩිවල සතුන් දඩයම් කරමින් සිටියහ. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තිබේ. ඒ අනුව කොළඹ වරාය නගරය ගොඩකරන විට කලාපයේ කොහේ හෝ ගොඩබිමක් මුහුදට යටවීමට නියමිතය. සුද්දා නිරුවතින් සිටින විට අප ඇඳුම් ඇඳගෙනය. අප ඇඳුම් ඇඳගෙන සිටින විට සුද්ද නිරුවතින්ය. මේ සමාජ පරිවර්තනය ස්වභාවධර්මයේ කවර නියමයක් සමග බැඳී තිබේද යන්න අපි නොදනිමු. අවසන් පලයේදී සාපරාධී රාජ්‍යයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. ලංකා ඉතිහාසයේ සෑම කල්හිම විදේශික ආක්‍රමණයක් සිදුවිය. ඉන්දියානුවෝද යුරෝපීයයෝද විටින් විට මෙහි පැමිණ අපත් අපේ රටත් මරාගෙන අනුභව කළහ. ඒ නිසා හෝ අන් කවර හේතුවක් නිසා හෝ පසු කාලයේදී මේ රටේ සිටින අහිංසක මිනිස්සු බියපත් සහ තැතිගත් ජාතියක් බවට පත්වූහ. මෙයට දසක හය හතකට පෙර ගමේ පාරකින් මළ සිරුරක් හමුවුණේ නම් සෑහෙන කලක් යන තුරු හවස පහෙන් පසු එම පාරේ ගමන් කිරීමෙන් ගැමි ජනයා වැළකී සිටියහ. එක්දහස් නවසිය හැට ගණන්වල් අග භාගයේදී දැදුරු ඔයෙන් කාන්තා මළ සිරුරක් හමුවිය. එහි හිස තිබුණේ නැත. ඝාතකයා කාන්තාවගේ හිසත් කපාගෙන සිරුර පමණක් දැදුරු ඔයට හෙලා තිබිණ. එකල තිබූ පුවත්පත් මේ සිද්ධිය ගැන දින ගණනාවක්ම වාර්තා පළ කළේය. ඒ සමගම දැදුරු ඔය දෙපස විසූ ජනයා හවස 6 න් පසු එළියට බැසීමෙන් වැළකී සිටියහ. හිස නැති කාන්තා සිරුරක් දැදුරු ඔය ඉවුර දිගේ ගමන් කරන හැටි දුටු කිහිපදෙනකු ගැනද එකල වාර්තා විය. ඒ අතර තවත් සමහරු කඳ නැති ඔළු ගෙඩියක් ඔයේ තීර්ථයට උඩින් පාවීගෙන යනු දැක තිබිණ. මේ සියල්ලම මනෝ භ්‍රාන්තීන් බව අපි විශ්වාස කරමු. එහෙත් මේ සිද්ධිය නිසා මේ රටේ ජනතාව නම් නැට්ටටම භය වූහ.

1971 අප්‍රේල් කැරලි සමයේදී දැදුරු ඔය දිගේ තරුණ මළ සිරුරු සිය ගණනක් ගසාගෙන යනු ජනතාව විසින් දක්නා ලදී. එක්දහස් නවසිය හැට ගණන්වල අගදී දැදුරු ඔයේ හිස සුන් මළ මිනියෙන් භීතියෙන් මුසපත්ව ඔය දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළ ජනයා 1971 දී ඔයේ පාවෙන තරුණ සිරුරු දැක ගැනීම සඳහා පෝලිමේ ඔය ඉවුර දිගේ සිටගෙන සිටියහ. 1977 දී ජේ. ආර්. ජයවර්ධන මේ රට භාරගන්නා විට ලංකාව අග හිඟකම් වලින් පෙළෙමින් තිබූ ගැමි රාජ්‍යයකි. TV, ඉන්ටර්නෙට් නැති මේ යුගයේදී මිනිසුන් විසින් රට තොට තොරතුරු දැනගන්නා ලද්දේ ආණ්ඩුවේ ගුවන්විදුලියෙන් සහ පුවත්පත් වලිනි. ජේ. ආර්. ජයවර්ධන 1977 දී බලයට එන විට මේ රටේ සේවා වියුක්තිය 20% ක් විය. ජේ. ආර්. රට භාරගන්නේ අර්බුදය ගැන දැන දැනමය. ඒ වෙලාවේදී ඔහුගේ වාසනාවට globalization නමැති සංකල්පයක් ලොව පුරා පත්තු විය. මේ නිසා පිට රටවල විදේශ රැකියා වෙළෙඳ පොළක් බිහිවූ අතර මේ රටේ සේවා වියුක්තිය මැඬීම සඳහා පිට රට රැකියාවලට ලාංකිකයන් යැවීමේ අවස්ථාව ආණ්ඩුවට ලැබිණ. ඉන්පසු 83 ජූලි කලබලය හටගනී. ඒ ඔස්සේ, කල්යත්ම මේ රටේ ජනයා මළ මිනී සංස්කෘතියකට හුරුපුරුදු වූහ. යුද්ධය දිගටම ඇවිලෙන විට හැමදාම බෝම්බ පුපුරා මිනිසුන් මියයෑම සිදුවිය. ටික කලක් ගත වත්ම බෝම්බයක් පුපුරන විට මිනිසුන් කීපදෙනක් නොමළොත් එය අඩුවක් සේ දකින තරමට මේ රටේ ජනතාව වෙනස් වූහ. ඇත්තටම මිනී මැරිල්ල දෛනික සිදුවීමක් බවට පත්කළේ ප්‍රභාකරන් විසිනි. 88, 89 වකවානුවේ පැවති භීෂණයද මළ මිනී සඳහා ඇස හුරු කරගැනීමට මිනිසුන්ට උදව් විය. අද වනවිට මහ පාරේ මිනී මැරීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම යනාදිය ඉතා සරල දේවල් බවට පත්ව තිබේ. ඒ සරල ස්වරූපය තුළදී කඩුවක් අතින් ගෙන තනිව පැමිණෙන මිනිසකු තම විරුද්ධවාදියාගේ දෑත් කපාගෙන යෑම ඉතා සරල සංසිද්ධියක් නොවිය හැකිද?

advertistmentadvertistment
advertistmentadvertistment