ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස්වලින් පිටරැටියෝ 87870 ක් ලොව දකිති

206

ශ්‍රී ලාංකිකයන් දන් දුන් ඇස්වලින් පිටරැටියන් අසූ හත් දහස් අටසිය හැත්තෑදෙනකුට (87870ක්) පෙනීම ලබා දුන් බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතර ආරච්චි මහතා පැවැසීය.

දන්දුන් ඇස්වලින් ශ්‍රී ලාංකිකයන් 58260 දෙනකුටද පෙනීම ලබාදී ඇත. ලාංකිකයන් ලක්ෂ 21ක් ස්ව කැමැත්තෙන් ඇස් දන්දීමට පොරොන්දු පත්‍ර සිය සංගමයට ලබාදී තිබෙන බවත් පරිත්‍යාගශීලියා මිය ගොස් නියමිත පැය ගණන තුළදී ඇස් ලබා ගැනීමට දිවයින පුරා අක්ෂිදාන සංගමයේ ශාඛා පවත්වාගෙන යන බවත් හෙතෙම පැවැසීය.

ඇස් දන්දීම නොමිලේ සිදු කෙරේ. එක් ඇසක් සංරක්ෂණයට රුපියල් 30000ත් 40000ත් අතර මුදලක් වැය වන බවත් විදේශවලට ඇස් සැපයීමේදී රුපියල් 50000ත් 80000ත් අතර මුදලක් වැය වන බවත් සිය සංගමය පරිත්‍යාගශීලීන් ලබා දෙන ආධාරවලින් පවත්වාගෙන යන බවත් ඔහු පැවැසීය.

2022 වසරේදී ඇස් දන්දීම ඉහළ ගිය බවද පැවැසීය. පකිස්තානය, චීනය, ජපානය, ඊජිප්තුව රටවල මෙන්ම ඇස් අපනයනය කළ රටවල අක්ෂි ආබාධ පුද්ගලයන් මෙරටින් දන්දුන් ඇස්වලින් පෙනීම ලබාගෙන ඇත. බද්ධ කිරීමට ගත නොහැකි දන් දුන් ඇස් 48672 මෙරට විශ්වවිද්‍යාලවලදී සහ රජයේ රෝහල්වලදී අක්ෂි ශල්‍යකර්ම පිළිබඳව අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ගේ පුහුණුවීම් සඳහා ලබාදී ඇත.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment