ශ්‍රී ලාංකික සන්නාමයන් හරහා රටට ඩොලර් උල්පතක්

1022

රනිල් විල්අද්දරගේ

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ අපනයනාභිමුඛ ආර්ථිකයක වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද නොයෙක් වර අවධාරණය කර ඇත. මේ අපනයන ආදායම වැඩිකර ගැනීමට නොයෙක් අය නොයෙකුත් යෝජනා ද ඉදිරිපත් කරනු පෙනේ. මේ අනුව මෙරට නිමි ඇඳුම් ඇඟලුම් කර්මාන්තය නියෝජනය කරන ව්‍යවසායකු වන රනිල් විල්අද්දරගේ මහතා ද ශ්‍රී ලාංකික ව්‍යාපාර සන්නාමයන් හරහා රටට වැඩි අපනයන ආදායමක් උපයාගැනීමේ සැලසුමක් රට හමුවේ තබයි. මේ නව සැලැසුම ගැන ඉදිරියේ දී ජනාධිපතිවරයා හමුවී ඔහුට ද ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව විල්අද්දරගේ මහතා පවසයි. පහතින් සටහන් වන්නේ මේ නව සැලසුම ගැන ‘දිවයින’ ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන් අයුරුයි. G FLOCK ඇඟලුම් සන්නාමයේ හිමිකරු වන ඔහු ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සාමාජිකත්වය ද දරයි.

ප්‍රශ්නය – රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමට ඔබ සිතන පරිදි ඇති බාධාවන් මොනවා ද?

පිළිතුර – මේ බාධාවන් කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වෙනවා. නමුත් සමස්තයක් ලෙස අපනයන ප්‍රවර්ධනයට ඇති බාධාව දුරුකරගන්න නම් දැනට සිටින ව්‍යවසායකයන් අපි යොමු කරන්න ඕන. ජාත්‍යන්තර වෙළෙඳ පොළට සරිලන පරිදි දැන් තත්ත්වය ගතහොත් දැනට සිටින ව්‍යවසායකයන්ට පවා සිය ව්‍යාපාර කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක තමයි අපි ඉන්නෙ. දැනට සිටින ව්‍යවසායකයන් වර්ග දෙකක් ඉන්නවා. එක් පිරිසක් දැනට අපනයන ආදායමක් ලබනවා. අනිත් පිරිස දැනට අපනයන ආදායමක් නොලබන අයයි. අපි සිටින ව්‍යවසායකයන් ගැන මෙහි දී කතා කරන්නෙ. අලුතින් ව්‍යවසායකයෙක් බිහිකර ගන්න අපට කලක් යනවා. අපිට ඉතා ඉක්මනට අපනයන ආදායමක් උපදවාගෙන ඉක්මනට අපි ගොඩයන්න ඕන. අපට දැනට විදේශ විනිමය නොමැති නිසා බෙහෙත් නෑ. තෙල් නෑ. ගල්අඟුරු නෑ. ඒ නිසා අපි ඉලක්ක කරන්න ඕන දැනට සිටින ව්‍යවසායකයන් පිරිස මේක ඉක්මණින්ම ප්‍රතිඵල ලබන්න නම්. දැනට අපනයන ආදායමක් ලබන අය ගත්තොත් ඒ අය ගෙනත් රජය වශයෙන් කරන්න ඕන ඒ අයගේ දැනට තිබෙන අපනයන ආදායම වැඩිකරගන්න තියෙන ප්‍රශ්න හඳුනාගන්න ඕන.

ව්‍යවසායකයෝ විදියට අපි දන්නව අපට ප්ලෑන් එකක් තියනව අපේ ආදායම වැඩිකර ගන්නෙ කොහොමද කියල. ඒක අලුත් දෙයක් නෙවෙයි. හැම ව්‍යවසායකයකුගේම ඔළුවේ ඒ දෙය තියෙනවා. නමුත් මේ අවස්ථාවේ ආර්ථිකයේ තියෙන ගැටලුවත් එක්ක ඒක කර ගන්න අමාරුයි. ණය පොලියත් එක්ක ව්‍යවසායකයන්ට විශාල අභියෝගයක් තියෙනවා. ඒ ඇතුළු අභියෝග රජය හඳුනාගත යුතුයි. ඩොලර් ආදායම් උපයන අය ගත්තොත් ඒ ආදායම ලබන වසරේ දෙගුණ කරගන්න නම් මොකක්ද කරන්න ඕන කියන ඒ සැලසුම් ඒ අය ගාව තියෙනවා. ඒ සැලසුම සඳහා අපේ නිෂ්පාදිත ජාලය දෙගුණ කරන්න ඕනනෙ. ඒ සඳහා ආයෝජනය කරන්න ඕන නිෂ්පාදිත ධාරිතාවය තවත් වර්ධනය කරගන්න නම්. එසේ ආයෝජනය කරන්න නම් දැන් තියෙන සියයට 30, 32 පොලියත් එක්ක ආයෝජනය කරන්න අපහසුයි. එහෙම ව්‍යාපාර කරන්න බෑ. රජය කරන්න ඕන එම අපනයන ආදායමක් දැනටමත් ලබන සහ ඒ ආදායම තවත් වැඩිකරන්න පුළුවන් අය හඳුනාගෙන ඒ අයට පහසුකම් සලසා දෙන්න ඕන. ඒක තමයි පළමුවන කරුණ.

දැනට අපනයන ආදායමක් නොලබන නමුත් අපනයන ආදායමක් ලැබිය හැකි ලෙස වර්ධනය කළහැකි ව්‍යවසායකයන් හඳුනාගැනීම දෙවන කරුණයි. ලංකාවේ ඕන තරම් විවිධ නිෂ්පාදන කරන ව්‍යවසායකයන් හැම තැනම ඉන්නවා. ඒ කට්ටිය හඳුනාගෙන ඒ අයගේ හඳුනාගත් නිෂ්පාදිතය ජාත්‍යන්තර වශයෙන් ගෝලීය වශයෙන් තරග කරන්න පුළුවන් ලෙස ඉහළ ගුණත්වයෙන් යුතුව වර්ධනය කරගත යුතු වෙනවා. මෙය තමයි දෙවන පියවර වන්නේ. එම නිෂ්පාදනවල ඇසුරුමේ සිට, භාණ්ඩයේ ගුණාත්වයේ සිට එක එක රටවල තියෙන නීතිමය රාමුවලට ගැළපෙන ලෙස ඒවා සංවර්ධනය කිරීම ද කළයුතු වෙනවා. ඒ පිරිස ඒ මට්ටමට ගෙනියන එක තමයි දෙවෙනි පියවර.

තුන්වෙනි පියවර වන්නේ අලුතින් ව්‍යවසායකයන් බිහිකිරීම. ඒ සඳහා විවිධ අංශවල ඉන්න ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයා හමුවූ පසුව ඒ කට්ටියගෙන් ප්ලෑන් එකක් ගන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණ අංශයේ අලුතින් ව්‍යවසායකයන් ඇති කරන්න නම් කොහොමද කරන්නේ. ඇඟළුම් ක්‍ෂේත්‍රයේ නව ව්‍යවසායකයන් බිහිකරන්න නම් කොහොමද කරන්න ඕන යනාදී ලෙස අපි සියලු දෙනා ගාවම සැලසුම් තියෙනවා. ඒ සඳහා වෙනම වැඩසටහනක් කරන්න පුළුවන්. මෙන්න මේ වැඩසටහන් තුන තමයි අපනයන ප්‍රවර්ධනය සඳහා වහාම මේ රජය කරන්න ඕන. එහෙම තමයි අපේ අපනයන ආදායම් වැඩි කරගන්න පුළුවන්. මම ඉන්නෙ නිමි ඇඟලුම් කර්මාන්තයේ. මගේ සන්නාමයෙන් මම නිෂ්පාදන පිටරට යවන කෙනෙක්. අවශ්‍ය පාරිභෝගිකයන්ට ඔන්ලයින් ක්‍රමයට විකිණීම් කරනවා.

ප්‍රශ්නය – ඔබ කියන අදහස යම් සංගමයක් හරහා රජයට භාරදීලා තියෙනවා ද?

පිළිතුර – නැහැ. එතැන රජයේ වැරැද්ද තියෙන්නේ.

මම මාස හයකට කලින් ඇවිල්ල මුළු ලංකාවට මේ ක්‍රමවේදය හරහා වසර පහකින් ගොඩදාන්න පුළුවන් සැලසුමක් ගෙනාව.

ප්‍රශ්නය – ගෙනාව කිව්වෙ. ඒ සැලසුම කාට ද ඉදිරිපත් කළේ?

පිළිතුර – මම පාර්ලිමේන්තුවේ පාඨලී චම්පික මන්ත්‍රීතුමාගේ කමිටුවට ඒක දුන්නා. අපනයන ආදායම් වැඩි කිරීමට අදාළව තියෙන කමිටුවක්. මම ඒ කමිටුව හමුවේ පෙනී සිටියා. දැන් මම ලිඛිතව ඒක ඒ කමිටුවට ඉදිරිපත් කරන්න ඕන මේ සතියේ. ඊට අමතරව මම මාධ්‍ය ඉදිරියට ඇවිත් මේ කතාව කියල තියෙනවා. මෙහෙම සැලසුමක් මාගාව තියෙනවා කියල.

ඒ සැලසුමත් සමග ජනවාරිවල ජනාධිපතිතුමාවත් හමුවෙන්න අදහසක් තියෙනවා. මට දේශපාලනයක් වැඩක් නෑ. මම වැඩ කරන්න ඕන පවතින රජයත් එක්ක. මේ ප්ලෑන් එක ඉදිරියට ගෙනියන්න ඕන නම් රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක. අවුරුදු පහකින් ඩොලර් බිලියන පහක් ගේන්න පුළුවන් සැලැස්මක් ඒක. ඒක අනිවාර්යෙන්ම රජයත් එක්ක එකතුවෙලා අපි කරන්න ඕන. ඒක තමයි මගේ ඉදිරි සැලැස්ම.

ප්‍රශ්නය – මේ සැලැස්ම ඔබ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න අපේක්‍ෂා කරනවා?

පිළිතුර – ඔව්. මොකද මේ ගැන විස්තර කරනවා නම් මම කරන්නේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක්. මම ඇඟලුම් කර්මාන්තයේ වැඩ කරලා, වැඩ කරල නව සන්නාමයක් හැදුවා. දවසක මේ රටට හොඳ අපනයන ආදායමක් ගේන්න ඕන කියලා සිතලා.

ප්‍රශ්නය – ඔබ කියන ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේ අපනයන ආදායම් ප්‍රවර්ධනය කරන්නේ?

පිළිතුර – මම ගෙනාව ක්‍රමවේදය කියන්නම්. ඔන්ලයින් බිස්නස් තමයි දැනට ලෝකයේ ඉදිරියෙන්ම තියෙන්නේ. ඒකෙනුත් නිමි ඇඟලුම් දැනට ඉදිරියෙන්ම තියන කර්මාන්තයක්. මම අනුගමනය කරන ක්‍රමවේදය මම කියන්නම්. දැන් .ීයැසබ’ කියල චීන සන්නාමයක් තියෙනවා. ඒක එක අවුරුද්දකට ඩොලර් බිලියන 15කට වැඩිය හොයදනවා. ලෝක වටේ කිසිම ෂොප් එකක් නැතිව. ඒක කරන්නේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය හරහා. සිය ආදායමිනුත් සියයට 80 ක් විතර හදල තියෙන්නේ පසුගිය කොරෝනා අවුරුදු තුනේ. ඒක ගොඩක්ම ප්‍රායෝගිකයි. අපිත් අනුගමනය කරන්නේ ඒ ක්‍රමවේදය. මගේ නිමි ඇඟලුම්වල ගුණත්වය ඉතා ඉහළයි. ඒ නිසා මට සියයට සියයක් විශ්වාසයි ලෝකය පුරාම අපට අර චීන සන්නාමය වගේම ගිහිල්ල අපේ නිෂ්පාදන විකුණන්න පුළුවන් ලෝකයට කියල ඉදිරි වර්ෂ පහ ඇතුළත. ඒක අර රජයේ සහායත් එක්ක තමයි අපට කරන්න පුළුවන්. තනියෙන් ඒ දේ කරන්න ගියොත් අවුරුදු පහළොවක් විතර යයි. එතකොට මේ රටට වෙන්න ඕන දේ වෙන්නෙ නෑ. රටට දෙයක් කරන්න ඕන නම් රජයේ සහායත් ඇතිව අර විදියට කරන් පුළුවන්. මේ ගැන අපට සහ අපගේ කණ්ඩායමට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ දේ ඉදිරි වර්ෂය 5 ඇතුළත කරන්න පුළුවන් කියල. ෆැෂන් සමාගමක් කියන්නෙ ඔය වගේ ඩොලර් බිලියන ගාණක් රටට ගේන්න පුළුවන් සමාගමක්. අපි ඇඟලුම් කර්මාන්තය ගත්තොත් කලින් අපි සමාගම්වලට සැපයුම් කරපු එක කරේ අඩු ගාණට. නමුත් එතැනින් එළියට ඇවිල්ල අපිත් දෙයක් මේ රටට කරන්න පුළුවන් කියන හැඟීමෙන් තමයි මේ දේ කරේ. මේක සාර්ථකයි. අපිට දැනට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඕන තැනක භාණ්ඩ විකුණන්න පුළුවන්. දැනටමත් අපි නිෂ්පාදන විකුණනව. මෙය දැනට රටට ඩොලර් උපයන ක්‍රමවේදයක්. අපට මේකෙ ධාරිතාව, වැඩිකිරීමයි කරන්න තියෙන්නේ. ඕක තමයි මගේ ක්‍රමවේදය. ඇත්තට ම මම දකින විදිහට රට ඉතා ඉක්මණින්ම ගොඩදාන්න පුළුවන් ක්‍රමවේදයක්.

දැන් අපේ දේශපාලනඥයන් කියන විදිහට එක එක කර්මාන්ත සංවර්ධනය කරල ඩොලර් උපයන තැනට එන්නත් කාලයක් යනවනේ. මේක එහෙම නෙවෙයි. ඉතා ඉක්මණින්ම කරන්න පුළුවන් ක්‍රමවේදයක්.

ප්‍රශ්නය – ඔබ සඳහන් කරන්නේ මේ ඔන්ලයින් ක්‍රමය හරහා මේ දේ කරන්න පුළුවන් කියලයි?

පිළිතුරු – ඔව්. ඔන්ලයින් ක්‍රමයට බ්‍රෑන්ඩ් එකක් (සන්නාමයක්) හරහා. නිෂ්පාදිතයෝ එකතු කළ අගය වැඩිකිරීම හරහා විතරයි මේක කරන්න පුළුවන්. අපට අමුද්‍රව්‍ය විකුණල මේක ගොඩදාන්න බෑ. බ්‍රෑන්ඩ්ස් (සන්නාම) හරහා තමයි දැන් ඉන්න වළෙන් රට ගොඩ දාන්න පුළුවන් වෙන්නේ. මම දකින්නේ එහෙමයි. අපි දැනටමත් කරන තේ, රබර් පොල් ඒව කරගෙන යන අයට කරගෙන යන්න පුළුවන්. ඒව තව තවත් වැඩිපුර කරගෙන යන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් රට ඉක්මනට ගොඩදා ගන්න නම් සන්නාමයක් (බ්‍රෑන්ඩ්ස්) හරහා තමයි ගොඩදාන්න පුළුවන්. මොකද එතකොට මුදලේ අගයට එකතු කළ වටිනාකම වැඩියි. එවිට ආදායම් ගලා ඒම වැඩියි. මුදල් ගලා යෑම අඩුයි. සාමාන්‍ය ඇඟලුම් කර්මාන්තයේ ගලා ඒම සහ ගලායෑම් අතර ලොකු වෙනසක් නෑ ඇත්තටම කිව්වොත්.

ප්‍රශ්නය – රජයේ සහාය ඇතිව ශ්‍රී ලාංකික සන්නාම ප්‍රවර්ධනය හරහා අපට කොපමණ කලකින් කොපමණ ආදායමක් ඉලක්ක කරන්න පුළුවන්ද?

පිළිතුර – වසර පහක් ඇතුළත ඩොලර් බිලියන පහක ආදායමක් උපයන්න පුළුවන්. මම ඒ ව්‍යාපෘතිය ලියල, හදල තියෙන්නෙ සම්පූර්ණයෙන්.

සාකච්ඡා කළේ
ශ්‍යාම් නුවන්ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment