ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොසලකා හැරීම: පොලිස්පති උසාවි කැඳවයි

281

තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 4 දෙනකුටත් එන්න නියෝග

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයක් නොසලකා හැරීමෙන් අධිකරණයට කරන ලද අපහාසය පිළිබඳව කරුණු විමසීම සඳහා ලබන නොවැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස්දෙනකුට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.

නීතිඥ විරාන් කොරයා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

එහිදී පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එස්. එස්. මෙන්ඩිස් සහ සහකාර පොලිස් අධිකාරි ශාන්ත කුමාර යන පස්දෙනාට ද නොතීසි නිකුත් කෙරිණි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කළේ යයි චෝදනා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතාට වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට පසුගිය මැයි 9 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබිණි. එම නියෝගය අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර නොමැති බව පෙන්වා දෙමින් නීතිඥ විරාන් කොරයා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment