ශ්‍රී ලංකාවට ලැබෙන අලුත්ම රට රස්සා පැකේජය

421

පාස්පෝට් පෝලිම වෙනදාට වඩා දිගු බව පාලකයන්ට මෙන්ම පොදු හුදී ජනයාට වැටහුනේ නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමත් සමගය. මෙය ඇඳිරි නීති කාලසීමාව තුළ විදේශ ගමන් බලපත‍්‍ර කාර්යාලය කි‍්‍රයාකාරී නොවීම නිසා හටගත්තක් ද නැති නම් මෙරට හැර යෑමට බලාපෙරොත්තු ඇතිව විදේශ ගමන් බලපත‍්‍රය සාදා ගැනීමට ද යන්න තවම කිව නොහැකිය. නමුත් තව මාස කිහිපයකින් මේ පිළිබඳව සක්සුදක් සේ පැහැදිලි කරගත හැකි වනවා ඇත. මෙරට සිට විදේශගත වීමට අපේක්ෂා කරන බොහෝ දෙනකුහට විදේශයකදී අනිවාර්යයෙන්ම රැකියාවක නියැළීමට සිදුවනු ඇත. මේ නිසා විදේශයක ස්ථිර හෝ තාවකාලික පදිංචියට යන ඕනෑම අයකු තමා කිරීමට බලාපොරොත්තුවන රැකියාව පිළිබඳව ස්ථිරවම මනා දැනුමකින් යුක්ත වීම අත්‍යවශ්‍ය කරුණකි.

පසුගිය කාලයේ මෙරට ප‍්‍රවෘත්තිවල කියැවුණේ දකුණු කොරියාව, ජපානය සහ ඊශ‍්‍රායල රැකියා ලබාදෙන බව පවසමින් සිදුකරන මුදල් ගසාකෑමේ ජාවාරමක් පිළිබඳවය. මෙය විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා ලබාදෙන බවට පවසමින් යම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරනු බවත් අදාළ ප‍්‍රවෘත්තිය වාර්තා කිරීම මගින් රජයේ වගකිවයුතු ආයතනයක නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙවැනි කි‍්‍රයා සිදුකිරීම නිසා විදේශ රැකියා අපේක්ෂා කරන්නන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුය.

විදේශ නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන විදේශ රැකියා අවස්ථාවන්හී දී නිසි ක‍්‍රමවේදයක් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුම අතර අයැදුම්කරුවන් ඒ පිළිබඳව දැනුවත්ව සිටීම ද අත්‍යවශ්‍ය ය.

මෙරට විදේශ නියුක්ති කාර්යාංශය විසින් මෙරට විදේශ රැකියා අපේක්ෂකයන්ට සුලභව ලබාදෙන අවස්ථාවක් ලෙසට දකුණු කොරියානු රැකියා අවස්ථාවන් හඳුන්වා දිය හැක. මෙම රැකියා අවස්ථාවන් පිළිබඳව මෙරට ජනයා තුළ වඩාත් විශ්වාසයක් ගොඩනැඟී ඇත්තේ එම අවස්ථා ලබාගත් බොහෝ තරුණ පිරිස් දැනට සමාජයේ වඩාත් සාර්ථක ජීවිත ගත කරන නිසා වෙනි. මෙම දකුණු කොරියානු රැකියා අවස්ථා මෙරටට ලැබෙනුයේ මෙරට හා දකුණු කොරියානු රජයන් අතර ඇති කර ගන්නා ලද එකඟතාවයකිනි. මෙවැනි රැකියා අවස්ථාවන් මෙරට රජය ඇති කරන්නා ලද නිල එකඟතාවක් මත සිදුකරනු ලබන අතර එවැනි රැකියා අවස්ථාවන් සඳහා අයැදුම් කිරීමට මෙරට විදේශගත වන්නන් පසුබට විය යුතු නැත.

දකුණු කොරියානු රැකියා අවස්ථාවන්ට අමතරව පසුගිය වකවානුව තුළ ජපානය සහ ඊශ‍්‍රායලය වැනි රටවල ද නිල වශයෙන් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළවල් කි‍්‍රයාත්මක කරනු දැකිය හැකි විය. මෙම රැකියා අවස්ථාවන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ බලයලත් නියෝජිතායතනයන් මගින් ලබාගත හැකි විය. මෙලෙසට ම ඉදිරියේදී ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කරනු ලබන විදේශ රැකියා අවස්ථාවන්වලදී මෙලෙස බලයලත් නියෝජිත ආයතන මගින් එම අවස්ථාවන් ලබා දීමට කටයුතු කරනු ඇත.

විදේශගත වීමට අපේක්ෂා කරන්නන් සිය විදේශ ගමන් බලපත‍්‍රය පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ. යම් රටකට යෑමට අපේක්ෂා කරන්නේ නම් එරට ආගමන විගමන නීති හා වීසා ලබා ගැනීම පිළිබඳව මනා අවබෝධයක් ලබාගත යුතු වේ. බොහෝ පිරිස් මෙම වීසා ලබා ගැනීම සඳහා යම් යම් පුද්ගලයන්හට මුදල් ලබා දී එම රටවල වීසා ප‍්‍රතික්ෂේප වූ පසු සිය මුදල් ද අපතේ යවා ගත් පුවත් අපට එදිනෙදා අසන්නට ලැබෙන සුලභ පුවතකි. මේ නිසා ම වීසා කි‍්‍රයාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

යම් රටකට වීසා ලබා ගැනීමේ දී අප එම රටට යෑමට බලාපොරොත්තුවන අරමුණ තහවුරු කිරීම අත්‍යවශ්‍යයෙන් කළ යුත්තකි. නිදසුනක් ලෙසට මම අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්‍ෂා කරන්නේ නම් අදාළ රටෙහි අධ්‍යාපන ආයතනයත්, ඔබගේ සුදුසුකම් අනුමත කර ඔබව අදාළ පාඨමාලාව සඳහා තෝරාගෙන ඇති බවට තහවුරු කරන ලද ලිපියක් හෝ ලේඛනයක් ඉදිරිපත් කළ යුතු ම වේ. මීට අමතරව අදාළ පාඨමාලාව සඳහා අයකරනු ලබන මුදල ද තමා සතුව ඇති බවට තහවුරු කළ යුතු වේ. මෙලෙසට ම ඔබ යම් විදේශ රැකියාවකට යන්නේ නම් ඔබ යෑමට බලාපොරොත්තුවන රටෙහි සේවා යෝජයකු විසින් ඔබට රැකියාවත් ලබාදුන් බවට වූ ලේඛනයකින් ඒ බව තහවුරු කළ යුතුය. මෙවැනි අනුග‍්‍රාහක ලිපි අනිවාර්යයෙන්ම වීසා ලබා ගැනීමේදී ඉදිරිපත් කිරීම අනිවාර්යය කරුණකි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන විදේශ රැකියා අවස්ථාවන්හිදී වීසා අයැදුම් කිරීමේ කි‍්‍රයාවලියට ද උපදේශනය හා සහාය ලබාදීම නිතැතින්ම සිදුවන බැවින් රැකියා ලාභියාව වඩාත් පහසුවෙන් විදේශගත වීමට හැකියාව ඇත. විදේශ රැකියාවකට යෑමට අපේක්ෂා කරන්නකු අනිවාර්යයෙන්ම සිය රැකියාවට අදාළ පුහුණුවක් ලබා ගැනීම හෝ තමාට එරට දී එම පුහුණුව ලැබෙන්නේ ද යන්න අනිවාර්යයෙන්ම තහවුරු කරගත යුතුය. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන විදේශ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යන්හි අදාළ රැකියාවට පුහුණුව හා පූර්ව අවබෝධය විධිමත්ව ලබාදෙනු ලබයි. මේ නිසා විදේශ රැකියාවක් අපේක්ෂා කරන්නන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හරහා හෝ එහි බලයලත් නියෝජිතයන් හරහා එය සිදු කර ගැනීම මගින් සිය මුදල් හා කාලය වංචාකාරීන්ට හසුව නාස්ති කරගැනීම වළක්වාගත හැකිය. මේ නිසා මෙරට රජය විසින් නිල වශයෙන් ලබා දෙන රැකියා අවස්ථා පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියවන www.slbfe.lk මගින් හෝ 011-2879900-2 දක්වා වූ දුරකථන අංක ඔස්සේ දැනුවත් විය හැකිය.

නීතිඥ කසුන් පොන්නම්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment