ශ්‍රී ලංකා වෛද්‍යවරිය එංගලන්තයේදී මුහුදේ ගිලී මියයයි

2562

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු තරුණ වෛද්‍යවරියක වූ විසිහය හැවිරිදි තිරුෂිකා සත්‍යලිංගම් මෙනෙවිය එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ මාගේට් මුහුදු තීරයේ මිතුරු මිතුරියන් පිරිසක් සමග පිහිනමින් සිටියදී දියේ ගිලී මියගිය කනගාටුදායක පුවතක් පසුගියදා වාර්තා විය.

ඔවුන් පිහිනීමට ගොස් තිබුණේ සේවය අහවරවී රාත‍්‍රී කාලයේදීය. තිරුෂිකා නොමැති බව යහළුවන්ට තේරුම් ගොස් තිබුණේ ඔවුන් නැවත නවාතැනට ආ පසුවය. මුහුදු ජීවිතාරක්ෂකයින්, පොලීසිය, ගිනි නිවන හමුදා භටයින් සහ මුහුදු ආරක්ෂක හෙලිකොප්ටරයක් තිරුෂිකා සෙවීමට පටන් ගත්තේ පාන්දර තුනටය. ඔවුනට ඇගේ සිරුර හමුවී තිබුණේ පාන්දර 5.45ට පමණය.

ශ්‍රී ලංකා වෛද්‍යවරිය එංගලන්තයේදී මුහුදේ ගිලී මියයයි

ඇය සේවය කළේ මාගේට් හි එලිසබෙත් රැජින රෝහලේය. ඇයගේ පියාද එම රෝහලේම සේවය කර විශ‍්‍රාම ගිය වෛද්‍යවරයෙකි. ඇයගේ සහෝදරයාද එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයෙකි. ඇය කොවිඞ් 19 වැළඳුනු රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා වෙහෙස මහන්සිවී සේවය කළ අයෙකි.

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු ඇය එංගලන්තයට පැමිණීමෙන් පසු කුඩා කල ඉගෙනුම ලැබුවේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඞ් ප‍්‍රදේශයේදීය. ඇය වෛද්‍යවරියක වීමට ඉගෙන ගත්තේ ලැට්වියාවේ ‘‘රිගා ස්ට‍්‍රාඩින්ස්” සරසවියේය. එහිදී ඇයට ජර්මන් ජාතික තරුණයෙකුවූ පීටර් ස්පීල්බිච්ලර් මුණ ගැසී පෙමින් වෙළුණි. මෙම අවසනාවන්ත සිදුවීම සිදුවන විට ඔවුන්ගේ පෙමට වසර හයක් ගතවී තිබුණි.

ඇය නිවාඩුව ගත කළේ ශ‍්‍රී ලංකාවේ, ජර්මනියේ හෝ ලෝකයේ වෙනත් රටවල සංචාරය කරමිනි. සමාජ සේවයද ඇය ප‍්‍රිය කළාය. ශෝකය ප‍්‍රකාශ කිරීම සඳහා මල් රැගෙන එනවා වෙනුවට ඒවාට වැය කරන මුදල් ලන්ඩනයේ තිබෙන ශ‍්‍රී ලාංකික සමාජ සේවා ආයතනයක් වන ‘‘හෙළ සරණ” ට ලබාදෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලීමක් කර තිබුණි.

  • ශ‍්‍රී ලංකාව කොවිඞ් 19 රතු ලැයිස්තුවෙන් ඉවත් කරයි

ලෝකය පුරා පැතිර යමින් පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා බි‍්‍රතාන්‍ය රජය ශ‍්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. රතු ලැයිස්තුවට ඇතුළත් රටවල් වල සිට බි‍්‍රතාන්‍යයට ඇතුළුවීමට ඉඩ ලැබුණේ බි‍්‍රතාන්‍ය සහ අයර්ලන්ත පුරවැසියන්ටත් බි‍්‍රතාන්‍ය තුළ ස්ථීරව ජීවත්වීම සඳහා වීසා ලබා ගෙන සිටි අයටත් පමණි. ඔවුන් ද රටට ඇතුල් විය යුත්තේ නීති පද්ධතියකට යටත්වය. එනම් බි‍්‍රතාන්‍ය බලා පිටත්වීමට දින තුනකට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් කර තමන්ට කොවිඞ් 19 රෝගය වැළඳී නොමැති බව තහවුරු කර ගත යුතුය. බි‍්‍රතාන්‍යයට පැමිණි පසු රජයේ අනුමත හෝටලයක දින දහයක් නිරෝධායනය විය යුතුය. ඒ සඳහා එක් වැඩිහිටියෙකුට බි‍්‍රතාන්‍ය පවුම් දෙදහස් දෙසීය අසූ පහක්ද, වයස අවුරුදු 5 සිට 11 දක්වා වූ දරුවෙකුට පවුම් තුන්සිය විසි පහක් ද අය කරනු ලැබේ. දින දහයෙන් පසු තමන්ගේ නිවෙස් වලට යෑමට ඉඩ දෙන්නේ නැවත පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුවය. බි‍්‍රතාන්‍ය බලා පිටත්වීමට පෙර හෝටල් පහසුකම් වෙන් කර ගතයුතු වේ. එසේ නොමැති අයට බි‍්‍රතාන්‍ය පවුම් හාර දහසක් දක්වා වූ දඩයකට යටත් කරනු ලැබේ.

මේ තත්ත්වය යටතේ ශ‍්‍රී ලාංකිකයිනට බි‍්‍රතාන්‍යයට පැමිණීමට නොහැකිව තිබුණි. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන ශ‍්‍රී ලාංකික දරුවන් රැගෙන එන දෙමව්පියන්ට බි‍්‍රතාන්‍යට පැමිණීමට නොහැකි විය. රතු ලැයිස්තුවට ඇතුළත්වී තිබූ කාලය තුළ ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට බි‍්‍රතාන්‍යයට පැමිණීමට ඉඩ දී තිබූණි. එහෙත් ඔවුන් ද ඉහතින් සඳහන් කළ නිරෝධායනට ලක් විය යුතුව තිබුණි.

බි‍්‍රතාන්‍ය රජය සැප්තැම්බර් විසිදෙවැනිදා සිට ශ‍්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඊජිප්තුව, මාලදිවයින, තුර්කිය, කෙන්යාව සහ ඕමානය යන රටවල් රතු ලැයිස්තුවෙන් ඉවත් කර ගත්තේය. ඔවුන් දැන් අයිති වන්නේ ඇම්බර කහපාට (්පඉැර) ලැයිස්තුවටය. ඔවුන් ද බි‍්‍රතාන්‍ය බලා පිටත්වීමට දින තුනකට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් කර තමන්ට කොවිඞ් 19 රෝගය වැළඳී නොමැති බව තහවුරු කර ගත යුතුය. බි‍්‍රතාන්‍යයට පැමිණි පසු සිදු කළ යුතු කොවිඞ් 19 පරීක්ෂණ සඳහා කලින්ම මුදල් බැඳිය යුතුය. බි‍්‍රතාන්‍ය රජය අනුමත කරන ලද කොවිඞ් 19 එන්නත් දෙකම ලබා ගත් අය, රටට ඇතුළුවී දින දෙකක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණයක් කළ යුතුවේ. රජය අනුමත නොකරන එන්නත් ලබා ගත් අය සහ එන්නත් දෙකම ලබා නොගත් අය, තම නිවසේ හෝ බි‍්‍රතාන්‍යයේ තමන් ලැඟුම් ගන්නා ස්ථානයේ දින දහයක් නිරෝධානය විය යුතුය. එම දින දහයේදී, දින දෙක සහ දින අට යන දෙදින තුළ පී.සී.ආර්. පරීක්?ෂණ සිදු කළ යුතුවේ.

ශ‍්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කළද තවමත්, ඉන්දුනීසියාව, නේපාලය, පිලිපීනය, දකුණු අප‍්‍රිකාව සහ කියුබාව ඇතුළු රටවල් 54 ක් රතු ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

  • කොවිඞ් 19 එන්නත් මිලියන 241ක් අපතේ යන ලකුණු

ලෝකයේ පොහොසත් රටවල් ඔවුන් සතුව ඇති කොවිඞ් 19 එන්නත් අතිරික්තය දුප්පත් රටවල් වලට පරිත්‍යාග නොකිරීම නිසා එන්නත් මිලියන 241 ක් පමණ අපතේ යනු ඇතැයි ‘‘එයාර්ෆිනිටි” වෛද්‍ය ආයතනයේ වෛද්‍ය මැට් ලින්ලේ පවසයි. එන්නත් නිපදවන්නන් දැනට මසකට එන්නත් බිලියන 1.5ක් නිපදවන බවත් ඒවායින් වැඩි ප‍්‍රමාණයක් පොහොසත් රටවල් මිලදී ගන්නා බවත් එන්නත් ශක්තිය වැඩි කිරීමට දෙන තෙවන වර්ධක එන්නත් (ඊදදිඑැර න්‍්ඉ) දීමෙන් පසුත් පොහොසත් රටවල් වල එන්නත් බිලියන 1.2ක අතිරික්තයක් තිබෙන බවත් ඔහු පවසයි. එන්නත් බෙදාහැරීමට පෙර අඩුම වශයෙන් මාස දෙකක ආයු කාලයක් තිබිය යුතු බවත් පොහොසත් රටවල් වැඩිපුර ඇති එන්නත් තොග කඩිනමින් පරිත්‍යාග කිරීම ආරම්භ නොකළහොත් ඒවා අපතේ යන බව ඔහුගේ අදහසයි.

ජූනි මාසයේ පැවති ‘‘ජී 7” සමුළුවේදී එහි සාමාජිකයින් වන කැනඩාව, ප‍්‍රංශය, ඉතාලිය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත්ජනපදය දුප්පත් රටවලට එන්නත් බිලියනයක් පරිත්‍යාග කිරීමට එකඟ විය. එක්සත් රාජධානිය එන්නත් මිලියන 100ක් පරිත්‍යාග කිරීමට එකඟ වුවද මෙතෙක් පරිත්‍යාග කර ඇත්තේ මිලියන නවයකට අඩු සංඛ්‍යාවකි. ඇමෙරිකාව මිලියන 580ක් පරිත්‍යාග කිරීමට එකඟ වුවද මෙතෙක් පරිත්‍යාග කර ඇත්තේ මිලියන 140 කි. යුරෝපා සංගමයේ රටවල් මිලියන 250ක් පරිත්‍යාග කිරීමට එකඟ වුවද මෙතෙක් පරිත්‍යාග කර ඇත්තේ 8% ප‍්‍රමාණයකි.

මෙතෙක් නිපදවා ඇති එන්නත් සංඛ්‍යාවෙන් 75% ක් ලබා ගෙන ඇත්තේ පොහොසත් රටවල් දහයකි. තමන්ගේ රටේ සියලූම පුරවැසියන්ට එන්නත් දෙකම ලබාදෙන තෙක් අතිරික්තය පරිත්‍යාග කිරීමට බොහෝ පොහොසත් රටවල් මැලිකමක් දක්වන බව පැවසේ. ඒ වන විට එන්නත් බොහෝ ප‍්‍රමාණයක් කල් ඉකුත් වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ මතයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මුළු ලෝකයේම ජනගහණයට එන්නත් දෙකම ලබාදෙන තෙක් කිසිවකු හෝ සුරක්ෂිත නොවන බවයි.

ශ්‍රී ලංකා වෛද්‍යවරිය එංගලන්තයේදී මුහුදේ ගිලී මියයයි
සුජීව නිවුන්හැල්ල

advertistmentadvertistment
advertistmentadvertistment