ශාන්ත රසයක පිරිපුන් ස්වරය නීලා

195

විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය මිය ගොස් ජනවාරි දාහත්වන දිනට වසරක් පිරීම නිමිත්තෙනි..

සාහිත්‍ය, සිනමාව, නාට්‍ය, සංගීතය හෝ චිත්‍ර ආදී කවර කලා මාධ්‍යයකට වුවද නොමැති ප්‍රබල ආකර්ෂණයක් ගීතයට හිමි වී තිබෙන බව නොරහසකි. යට කී සියලු කලා මාධ්‍යයන් අබිබවා ගීතය එබඳු රසික ප්‍රතිචාරයක් ලබා ඇත්තේ ස්වභාවයෙන් ම ගීතය සතු සංවේදී ගුණයත් සරල බවත් නිසාය. මෙයින් අදහස් කෙරෙන්නේ අනෙක් කලා මාධ්‍ය සංවේදී නොවන බව නොවේ. සංවේදී නොවන කලාව කුමක්ද? කලාකරුවා යනු සූක්‍ෂ්මාත්මතාවයෙන් යුතු සුන්දර මිනිසෙකි. මේ රළු පරළු ජීවිතයට සොඳුරු බව කැන්දන්නේ ඔහුම නොවේද?

සුභාවිත ගීත ව්‍යාපාරය ඇතැඹුලක් සේ වටහා ගනිමින් ද එය විවිධ අයුරින් පෝෂණය කරමින් ද දුක්‍ඛසෙය්‍යා දුර්භෝජන ඉවසමින් ද, අපගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන ගායන පරපුරෙහි ඉඳුනිලක් බවට පත්ව සිටින්නී විශාරද නීලා වික්‍රමසිංහ නම් වූ ගායන ශිල්පිනියයි. සිංහල ජන ගීතය ඔස්සේ හෙළ ගී මඟට පිවිසුණු ඇගේ නිර්මාණශීලී අභ්‍යාසයට ඇය මෙලොව හැරයන විට දශක තුනක් සම්පූර්ණ වී තිබේ. සුභාවිත ගීත ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි අතළොස්සක් පමණ වූ ගායක ගායිකාවන්ගේ පරපුරෙහි නීලාගේ භූමිකාව අතිශය රමණීය වේ. අප හෙළ ගී මඟ පහන් කළ සරු කළ පින් සපිරි ගායන ශිල්පිනියකගේ දුර්ලභ වාසනා ගුණය නීලා මොනවට පිළිබිඹු කරන්නීය. අප්‍රමාණ මාධුර්යයකින් ද අනන්ත වූ ශාන්ත රසයකින් ද පිරිපුන් නීලාගේ ස්වරය දෙවියන් විසින් පිරිනමන ලද දුලබ වරමක් වැන්න. ඇගේ ඒ හඬින් සුවපත් නොවන රසිකයකු ඇතැයි මම නොසිතමි. සිහිල් දිය දහර සේ අප හදවත් මරුකතර හරහා ගලා බස්නා ඒ ගී හඬ අපට ආධ්‍යාත්මක භාවනාවකට ආරාධනා කරයි. පියවි ලොව අප්‍රමාණ දුක් තැවුල් වැදී ගිලන් වන හදට ඇගේ හඬ දිව ඔසුවක් වැන්න.

ඇතැම් නිසංසල රැයක හුදෙකලාව සිටින සඳ මද නළින් රැගෙන එන ඇගේ ගී හඬ කෙතරම් සුන්දරද?. ඒ මධුර හඬ රසිකයකුට හැර දෙන්නේ චමත්කාරයේ කවුළුවය.

දෑතට වළලු – මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ – පුන් කුසුමන් සේ බැබළෙයි

නීලා වික්‍රමසිංහගේ බොහෝ ගී අපගේ සංස්කෘතියේ ද අපගේ පාරම්පරික උරුමයන්හි ද නිර්මාණාත්මක සංකලකනයන් බව මඟේ හැඟීමයි. කවර කලා කෘතියක වුවද අගය වැඩිවන්නේ එය රඳාපවත්නා සම්ප්‍රදාය හා එයින් ලබන පෝෂණය මතය. සම්ප්‍රදාය මත රැඳීම යනු ගතානුගතික ව්‍රතයක් නොවේ. සම්ප්‍රදාය නොදැන සම්ප්‍රදාය සමතික්‍රමණය කළ හැකිද? නිලාගේ ගී මග සියුම්ව බලද්දී අපට ප්‍රත්‍යක්‍ෂවන ප්‍රධානම කරුණ නම් සම්ප්‍රදායට ගරු කිරීමත් එය හඳුනා ගැනීමත් ය. එහෙත් ඇය කිසිම විටක සම්ප්‍රදාය තුළ සිරවූයේ නැත. ඇය වෙනුවෙන් ගීත පබැදූ අය මෙන්ම සංගීතය නිර්මාණය කළ සංගීතඥයෝ ද මෙම කාර්ය සාධනය සඳහා උරදුන්හ. ඇගේ ගීතය අපට පරම ආශ්වාදයක් ලබා දෙන්නේ ද එම සාධනීය ගුණය නිසා ය.

පාළොස්වක සඳ වැනි ගීතයක් මෙයට නිදසුන් කළ හැකිය. ජන කවියේ සූක්‍ෂ්ම ගුණය සාධනීය ලෙස මෙම ගීතය අවශෝෂණය කර ගත් අයුරු විස්මය ජනකය.

‘දස්කොන් සකිසඳ’, ‘පෙරුම් පුරාගෙන’ වැනි ගීත ද මෙහිලා සඳහන් කිරීම වටී. ඇගේ අතිශයින් ජනප්‍රිය ගීත ලෙස රසික ප්‍රසාදය ලද පෙම් සිලිලාරේ, සූසැට බරණින්, රන් ටිකිරි සිනා, මගේ ලොවට ඔබ වඩින තුරා, යාළුවේ සිතින්, ඉඟි බිඟි කරනා, පුංචි සිතේ, දරුවෝ ඇති අම්මාලා, පාරමී දම්, බෝධියේ විහාරයේ, මාස්ටර් සර් ආදිය වුවද කිසි දිනෙක නොව පැරණිය වන රමණිය ගී ගඟුලක් වැන්න.

නීලා වික්‍රමසිංහගේ ගීතාවලියම රසික මද පහන් කරන ගී සිසිලක් සේ මම කල්පනා කරමි. ඇගේ ඇතැම් ගීයක දිදුලන සෝකීය ස්වරයට මම අතිශයින් ම පෙම් බඳිමි.

වියෝ ගී ගැයෙනා හදේ – ආදර මල් නොමියේ
සදා මේ සංසාරෝ – අපේ හමුවීම නොවේ

සෝක රසයෙන් පිරී ගිය මෙම ගීතය සහෘදයකුගේ දෑසට රැගෙන එන පිවිතුරු ප්‍රේමයේ සිසිල කඳුළ කවර නියංසායකදී හෝ වියැකී නොයන්නකි. ස්ත්‍රී – පුරුෂ ප්‍රේමයේ සුකුමාරත්වය සනාතන වියෝගීතයක් බවට පත් කරන ලද මෙබඳු අවස්ථා අපගේ ගීත සාහිත්‍යයෙහි වුවද අතිශය විරලය.

නීලා වික්‍රමසිංහ ගීතාවලියෙහි වඩාත් අවධානයට ලක් නෙවූ අපූර්ව ගීත රැසක් ම අපට හමුවිය. ජීවිතය පිළිබඳ ගැඹුරින් ද මනුෂ්‍යත්වය පිළිබඳ ආදරයෙන් බිහි වූ එබඳු ගී අතර ‘කිරිමල්ලී කිරි ඉල්ලා’ ‘මත් බමරුන් සැරිසරනා ඉසව්වේ’ වැනි ගීත සුවිශේෂ වේ. මානව සබඳතාවයන් හි අතිශයින් ම දුක්බර සිතුවම් බඳු එම ගීත අප ජීවත්වන ලෝකයට වඩා යහපත් ලෝකයක් පිළිබඳ ප්‍රාර්ථනාවන් සේ දැක්වීම වටී.

නීලා වික්‍රමසිංහගේ කලාත්මක අභිලාෂය කෙබඳු දැයි පසක් කරවන සුන්දර ගීතයක් මගේ ඇසට ලක්විය. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පද වැල සජීවි සිත්තමක් කරන්නී ඇය නොවේද?

‘රට රකිනා කම්කරුවන් වෙහෙස නිවා ගයනා ගී
බත දෙවනා ගොවි දරුවන් තනිය මකා ගයනා ගී
කිරට හඬන දූ දරුවන් තනිය මකා ගයනා ගී
මගේ මුවින් මම ගයනෙමි උදානයක පැතුමක් වී’

විශාරද නීලා වික්‍රමසිංහගේ ගීත ව්‍යාපාරය හුදෙක් ගායනයට පමණක් සීමා වූයේ නැත. ඇය විසින් සංගීත නිර්මාණය කරන ලද ගී රැසකි. ළමා ගී පමණක් සියයකට අධිකය. ඇය විසින්ම සංගීතය නිර්මාණය කරන ලද ගී මෙන්ම වෙනත් ශිල්පීන් රාශියක් වෙනුවෙන් සංගීතය නිර්මාණය කිරීමේ භාග්‍යය ද ඇයට හිමිවී තිබේ. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට පරපුරෙන් පරපුරට මතුව ආ ගායන ශිල්පීන්ට සිය සංගීත ප්‍රතිභාව විදහා දැක්වීමට ඇය ලද වරම සුවිශේෂ වේ. සංගීත කලාව පිළිබඳ ඇගේ කුසලතාවය කෙබඳු දැයි එම ගී අපට පසක්කර දෙනු ඇත. එනිසාම නීලා වික්‍රමසිංහ සංගීතඥයකු සතු අපූර්ව ප්‍රතිභාවත් ගායන ශිල්පිනියක සතු මධුර භාෂණයත් ජන්ම දායාද සේ ලද මගේ කාලයේ අපූර්ව කලාකාරියක ලෙස මම දකිමි.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment