ශාරුක්, ලතා මංගේෂ්කාර්ට කෙළ ගැසුවා ද?

946

‘බොලිවුඩයේ නයිටිංගේල්’ වූ ලතා මංගේෂ්කාර් පසුගිය ඉරිදා පෙරවරුවේ මුම්බායි පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මියයන විට 92 හැවිරිදි වියේ පසු වූ ඇය කොරෝනා ආසාදිතව ජනවාරි 22 වැනිදා මුම්බායි රෝහලට ඇතුළත් කර තිබුණි. ගීත කෝකිලාවගේ මරණය ඉන්දියාවම කම්පනය කර තිබිණි. 1962 චීනය සමඟ ඇති වූ විනාශකාරී යුද්ධයේදී මියගිය ඉන්දීය සොල්දාදුවන් වෙනුවෙන් ප‍්‍රසිද්ධ රැස්වීමකදී ඇය ”ආයේ මෙරේ වට්නා කේ ලෝගොන් යේ” (මගේ රටේ මිනිසුන්) ගීතය ගායනා කරන විට, එවකට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු කඳුළු සැලූ බව ප‍්‍රකටය. ප‍්‍රමුඛ පෙළේ ගී පද රචකයෙක් වරක් ඇගේ මියුරු කටහඬ සහ ආත්මීය ගායනය විස්තර කළේ ”පළිඟුවල හොඳම මුතු ඇටය මෙන් පිරිසිදු සහ පැහැදිලියි” යනුවෙනි. කිසි දිනෙක විවාහ නොවූ මංගේෂ්කාර්, ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සිට මෝටර් රථ දක්වා වූ උනන්දුවකින් පසු වූ අතර ඇය සංගීත දිවියෙන් පිටත ධනවත් ජීවිතයක් ගත කළාය. ලතා මංගේෂ්කාර් සිංහල සිනමා ගීතයකට තමන්ගේ හඬ මුසු කරන්නේ ‘සැඩ සුළං’ චිත‍්‍රපටයේ ”හෙළදිව පුරාතනය” ගීතයටයි. එම චිත‍්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය සහ ගී පද රචනය කර තිබෙන්නේ ශ‍්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් ශූරීන් විසිනි. සැඩ සුළං චිත‍්‍රපටය වෙනුවෙන් ”ශ‍්‍රී ලංකා ප‍්‍රියාදර මා ජය භූමි” ගීතය ගායනා කිරීමෙන් පසු ලතා මංගේෂ්කාර් තමන්ට ලැබුණු මුළු මුදලම ආනන්ද සමරකෝන් ශූරීන් වෙත පරිත්‍යාග කර ඇති බව ප‍්‍රකට ය. ලතා මංගේෂ්කාර් අභාවය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිකුත් කර තිබු ට්විටර් පණිවුඩයේ සඳහන් වූයේ මංගේෂ්කාර්ගේ අභාවය ”ජාතියේ පිරවිය නොහැකි හිස්බවක්” ඇති කළ බවයි.

ඉරිදා දිනයේම මුම්බායි නුවර සිවාජි පිටියේදී ලතා මංගේෂ්කාර් මහත්මියගේ අවසන් කටයුතු සිදු වූ අතර ඒ සඳහා අගමැති මෝදි ඇතුළු රටේ ඉහළම ප‍්‍රභූන් බොලිවුඞ් තාරකාවන් සහභාගී වී තිබිණි. අප මේ සටහන ලියන්නේ මේ අවමංගල්‍ය උත්සවයෙන් පසු ඇතිවූ ආන්දෝලනයක් පිළිබඳව සටහනක් තැබීමටය. මේ ආන්දෝලනය සිදුවූයේ ප‍්‍රකට නළු ශාරුක් ඛාන් සම්බන්ධයෙනි.

මුම්බායි හි ශිවාජි පිටියේ අවමංගල්‍ය උත්සවයට ශාරුක් ඛාන් පැමිණ සිටියේ සිය පෞද්ගලික ලේකම් පූජා දාද්ලානි සමගය. ඉන්දීය ගායන පුරාවෘත්තයට අවසන් ගෞරව දැක්වීමට ඉවසිලිවන්තව බලා සිටි ඔහු මල් කළඹක් තබා ලතා මංගේෂ්කාර් වෙනුවෙන් දුආවක් පිරිනැමීය. දුආවක් යනු මුස්ලිම් යාඥාවකි. මියගිය තැනැත්තාගේ ආත්මයට ශාන්තිය ලබා දීම වෙනුවෙන් පවත්වන මේ යාඥාවෙන් පසුව තත්පරයකට ඔහු තම මුහුණු ආවරණය ඉවත් කර මුහුණේ ඉරියව්වක් ප‍්‍රකට කළේය. එය තොරතුරු නොදත් අමන පුද්ගලයින් කිහිප දෙනෙකු ‘කෙළ ගැසීම’ ලෙස සලකා සමාජ මාධ්‍ය ජාලාවල මහා බොරුවක් පැතිර වීය. විශේෂයෙන් මෙය සිදු කළේ භාරතීය ජනතා පක්ෂ හිතවාදීන් විසිනි. සත්‍යය නම්, ශාරුක් ඛාන් දුආවක් පැවැත්වීමෙන් පසු වාතය පිඹීම සිදු කළේය. මෙය මුස්ලිම්වරුන් විසින් පොදුවේ සිදුකරන දැහැමි පිළිවෙතක් වේ. මෙය නොදත් සමහරු ප‍්‍රකට තාරකාවට මඩ ගැසීම සඳහා මේ වාතය පිඹීම කෙළ පහරක් ලෙස අර්ථ දැක්වූහ. යක්ෂයා පලවා හැරීම වෙනුවෙන් මෙලෙස හුස්ම පිඹීම සිදු කෙරේ. ඉන්දීය නිළියක් වන උර්මිලා මටෝන්කාර් ශාරුක් ඛාන්ගේ සහයට පැමිණ මෙසේ ප‍්‍රකාශ කර තිබේ. ”සමාජයක් ලෙස, අපි යාච්ඤා කිරීම කෙළ ගැසීමක් යැයි සිතන තරමට පිරිහී ඇත. විවිධ ජාත්‍යන්තර වේදිකාවල ඉන්දියාව නියෝජනය කළ රංගන ශිල්පියෙක් විවේචනය කිරීමට තරම් පහත් මට්ටමකට පැමිණ තිබීම ඇත්තෙන්ම කනගාටුදායකයි”. මේ අතර ආදාහන පූජෝත්සවයේදී ‘කෙළ’ ගැසූ බවට චෝදනා කරමින් බොලිවුඞ් නළු ශාරුක් ඛාන්ට එරෙහිව සිදු කරන චෝදනා පදනම් විරහිත බව ශිව්සේනා මන්ත‍්‍රී සංජේ රවුත් ද නිවේදනය කර තිබිණි.

ශාරුක්, ලතා මංගේෂ්කාර්ට කෙළ ගැසුවා ද?

බොලිවුඩයේ ජනප‍්‍රිය නළුවාට එරෙහි පළමු ගල් ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ භාරතීය ජනතා පක්ෂයේ හර්යානා ප‍්‍රාන්ත ප‍්‍රධානියෙක් වන අරුන් යාදෙව් විසිනි. මෙහු සිය ට්විටර් ගිණුමේ ශාරුක් අවසන් ගෞරව දක්වන වීඩියෝව දක්වමින් සටහන් කර තිබුණේ ”ඔහු කෙළ ගැසුවාද” යනුවෙනි. එසේම උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ නායකයකු වන ප‍්‍රෂන්ත් උම්රෝ විසින් ද මේ චෝදනාව සිදු කර තිබිණි. මේ ප‍්‍රහාරවලට පිළිතුරු දෙමින් ක‍්‍රිෂ්ණ නම් ශාරුක් ලෝලියෙක් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන්ව තිබිණි. ”ශාරුක් කෙළ ගැසුවේ නැත, ඔහු තම ආගමට අනුව ලතා මැතිනියගේ නපුර වළක්වා ගැනීම වෙනුවෙන් වාතය පිම්බේය. මිනිසුන් මා මෙන් කියවා ඇත්නම්, ඔවුන් එය නිසි පරිදි තේරුම් ගනු ඇත. හින්දු භක්තිකයන්ට මුස්ලිම් ඇදහිලිවන්තයකුගේ අවමංගල්‍යයේදී යාඥා කළ හැකි ද? එවිට පිළිතුර වන්නේ ඔව් යන්නයි.”

පසුගිය වසරේදී ශාරුක්ගේ වැඩිමහලූ පුත් ආර්යන් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්විය. එය ලෙහෙසියෙන් ඇප දිය හැකි වරදක් වුවත් අවසානයේ ඇප ලබා ගැනීමට හැකිවූයේ මුම්බායි මහාධිකරණයෙනි. ”බොලිවුඞ් – දිල්ලි දේශපාලන ගැටුමේ ආර්යන් ඛාන් ගොදුර වීම” මැයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී දිවයිනට ලිපියක් ලියමින් මෙය අපි හෙළි කළෙමු. ලිපියේ මෙලෙස සඳහන් විය. ආර්යන් ඛාන් 23 හැවිරිදිය. ඔහු කැලිෆෝනියා විශ්වවිiාලයේ අධ්‍යාපනය ලබයි. බොලිවුඞ් සුපිරි තරුවක් වන ශාරුක් ඛාන්ගේ වැඩිමහලූ පුත‍්‍රයා වන ඔහු ඔක්තෝම්බර් මාසය පුරාම ඉන්දීය මාධ්‍යවල පමණක් නොව ලෝක මාධ්‍යවල ද අවධානයට ලක්වූයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වීම නිසාය. ආර්යන් ඛාන්ට දින 28 ක් පමණ අත්අඩංගුවේ පසුවන්නට සිදුවූයේ මත්ද්‍රව්‍ය චෝදනා නිසාද? නැත්නම් ඔහු ශාරුක් ඛාන්ගේ පුතාවීම නිසාද? බොලිවුඩය හා වත්මන් දිල්ලි ආණ්ඩුව අතර ඇති ගැටුමේ ගොදුරක් වීම නිසා ආර්යන් ඛාන්ට සති හතරක කාලයක් සිරගතව සිටින්නට සිදුවිය. ඔහු බලඅරගලයක ගොදුරක්ම පමණක් විය. මන්ද ශාරුක් ඛාන්ගේ පුතු සමඟ අත්අඩංගුවට ගත් කිහිපදෙනෙක් (ප‍්‍රබල භාරතීය ජනතා පක්ෂ කි‍්‍රයාකාරීන්ගේ ඥාතීන්) අත්අඩංගුවට පත් දිනයේම නිදහස් කර යැවූ බව මහරාෂ්ඨයේ ඇමැති නවාබ් මලික් මහතා හෙළිකර තිබිණි. ශාරුක් පුත‍්‍රයා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීම භාරතීය ජනතා පක්ෂයේ කුමන්ත‍්‍රණයක් බව ඔහු හෙළිකර තිබිණි. ලතා අවමඟුලේ සිදු වූයේ ද මෙවැනිම කුමන්ත‍්‍රණයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment