ශාස්ත්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අමිල මෙහෙවරකට කැපවූ සම්මානිත මහාචාර්ය පූජ්‍ය මිදිගම සෝරත නාහිමි

117

වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය, හා භාරතයේ ලක්නව් බෞද්ධ විහාරය යන විහාරයන්හි අධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, සම්මානිත මහාචාර්ය පූජ්‍ය මිදිගම සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රුහුණ විශ්වවිද්‍යාලයේ දශක තුනක පමණ කාලයක් සේවය කර 2021 වසරේ ජූනි මස 01 වන දින විශ්‍රාම ලැබූහ. ඒ නිමිත්තෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සංවිධානයෙන් 2022 වසරේ දෙසැම්බර් මස 05 වන දින රුහුණ විශ්වවිද්‍යලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දී පස්වරු 03.00ට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහත්මාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය ගිහි-පැවිදි විද්වතුන්ගේ සහභාගිත්වයෙන් උපහාර උත්සවයක් පැවැත්වීම හා ‘සම්මානනා’ අභිනන්දන කෘතිය පිළිගැන්වීම සිදුකෙරෙන අතර ඊට සමගාමීව උන්වහන්සේගේ සමාජ – ශාස්ත්‍රීය සේවාව මෙසේ අගය කරමු.

අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේ දී 1967 දෙසැම්බර් මස 22 වන දින වලානේ සද්ධාවාස, පාතේගම නන්දාරාම හා වත්තල සීලරතන යන නාහිමිපාණන් වහන්සේලා ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උතුම් ප්‍රවෘජ්‍යාවට පත් විය.

ප්‍රවෘජ්‍යාවෙන් පසු වැලිගම අග්‍රබෝධි විහාර පිරිවෙනෙන් හා මාතර කිතුලේවෙල ජයමහා විහාර පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කුඩා කල සිටම උගත් බුද්ධිමත් චරිතාංග විද්‍යාමාන කළහ. වර්ෂ 1977 ක් වූ ජුනි මස 26 වන දින නිසි විසිවස හා නැණ ගුණය එකසේ සපුරා ඓතිහාසික මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ විංශද්වාර්ගික කාරක මහා සංඝ සභාව අභිමුඛයෙහි උත්තරීතර අධිශීල ශික්ෂා සංඛ්‍යාත මහෝපසම්පදාව ලැබූහ.

මූලික හා ද්විතීය අධ්‍යාපන කඩඉම් පහසුවෙන් තරණය කොට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල රැසකින් තම දැනුම් සම්භාරය පෝෂණය කිරීමට ද සමත්විය. ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රපති උපාධිය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ද හිමිකරගත් නාහිමියෝ රුහුණ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධියත් ලබා ගත්හ.

මෙසේ උසස් අධ්‍යාපනයෙන් තම දැනුම් කෝෂ්ඨාගාරය පෘථුල කරගත් මිදිගම සෝරත නාහිමිපාණෝ 1979 වසරේ දී උත්තුංග වූ පාසල් ගුරු සේවයට ප්‍රවිශ්ට වූහ.

අනු/පරසන්ගස්වැව විදුහල, අනු/මාන්කඩවල විදුහල, මාර/පැලෑණ වජිරඤාණ විදුහල, වැලිගම සිද්ධාර්ථ බාලක මැදි මහ විදුහල යන විද්‍යාස්ථානයන්හිදී තම දැනුම ලබා දෙමින් ජාතික ශාස්ත්‍රීය මෙහෙවරට මුලපිරූහ. එසේ ම 1986 සිට කථිකාචාර්යවරයෙක් ලෙස නිල්වලා අධ්‍යාපන පීඨයේ හා නිට්ටඹුව ශාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ ද සේවය කරමින් දහස් ගණනක් වූ ලාංකීය පැවිදි ගිහි සිසුනට නිසි මග එළිපෙහෙලි කළහ. තවදුරටත් උන්වහන්සේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දක්වා ද තම මහඟු සේවය ව්‍යාප්ත කළහ.

කථිකාචාර්යවරයකු ලෙස 1988 වසරේ රුහුණ විශ්වවිද්‍යාලයට පානැඟූ පූජ්‍ය මිදිගම සෝරත නාහිමිපාණෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අංශාධිපති, ප්‍රධාන ශිෂ්‍ය උපදේශක, නියෝජ්‍ය උපකුලපති, වැඩබලන උපකුලපති ආදී සංකීර්ණ තනතුරු රැසකම වගකීම් ඉටුකළහ. 2004 වසරේ සිට කීර්තිමත් මහාචාර්යවරයෙක් මෙන් ම බහුශ්‍රැත පඬිවරයෙක් ලෙස ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි ලා අමිල මෙහෙයක් ඉටු කළහ.

වර්ෂ 1995 දී ඓතිහාසික වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේ අභිනව විහාරාධිපති ධූරයට පත් වූ අප නාහිමිපාණන් වහන්සේ ලක්සසුන ඒකාලෝක කළ අග්බෝ පින් බිමේ ඓතිහාසිකත්වය සුරකිමින් තම ගුරු දේවයන් වහන්සේලාගේ ගමන් මගට අනුගත වෙමින් විහාරස්ථානයේ සියලු ආගමික ශාසනික කටයුතු සපුරාලීමට ගත් වෙහෙස හා කැප කිරීම අතිශය ප්‍රශංසනීය වේ. තම පිංබිම වූ අග්බෝ වෙහෙර මෙන්ම මාතර සුල්තානාගොඩ රාමගිරි පුරාණ විහාරය හා කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාම විහාරය ද ලක්නව් බෞද්ධ විහාරය ද පූජ්‍ය මිදිගම සෝරත නාහිමියන්ගේ අනුශාසනා යටතේ සංවර්ධනය වෙමින් පවතී.

අග්‍රබෝධි රාජමහා විහාරයානුබද්ධ ආයතන රැසක් බිහිකොට සමාජ මෙහෙවරෙහි හිණිපෙත්ත දක්වා රැගෙන යෑමට නාහිමියෝ වීර්යවන්තව ක්‍රියා කරති. එම ආයතන අතර අග්‍රබෝධි පිරිවෙන ප්‍රමුඛස්ථානය ගනී. පූජ්‍ය මිදිගම සෝරත නාහිමියන්ගේ මානවහිතවාදී මාර්ගෝපදේශනය නිසා ම අග්බෝ පිරිවෙන තළින් සදාචාර සද්ගුණයන්ගෙන් පිරිපුන් දෙස් විදෙස් උගත් බුද්ධිමතුන් පිරිසක් සමාජගත කිරීමට හැකි විය.

සමාජ සාරධර්මයන් උඩු යටිකුරු කරමින් වත්මන් ශ්‍රී ලාංකේය සමාජය සංකර සිරිත් විරිත්වලට අනුගත වෙමින් සිටියි. දේශීය දූ දරුවන් එම තත්ත්වයෙන් මුදවා ඔවුනට බෞද්ධ සාරධර්ම එන්නත් කිරීම අරමුණු කරගෙන ධර්මරාජ දහම් පියස අග්‍රබෝධි රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වේ. අප නාහිමියන්ගේ නිවැරදි මඟ පෙන්වීම මත දහසකට අධික දැහැමි දූ දරු පිරිසක් අධ්‍යාපනය ලබන මෙම දහම් නිකේතනය ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව දක්‍ෂිණ දිසාවේම කීර්තිමත් දහම් පාසලකි.

ආචාර්ය පූජ්‍ය මාකොළ මංගල හිමි
අංශාධිපති, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment