ශාෆ්ටර්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

990

ශාෆ්ටර්:- ඔයා එනකම් මම ඉන්නවා
බ්‍රයන් :- ඔයා එක්ක මට කිසි කතාවක් නැහැ

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගේ බිරිඳගෙන් පෙරේදා (18 වැනිදා) රාත්‍රී පැය 2 ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. ශාෆ්ටර් මහතාගේ අවමඟුල් කටයුතු පෙරේදා සවස පැවැත්වීමෙන් පසු ඒ මහතාට අයත් කොළඹ මල්පාරේ පිහිටි නිවස වෙත සිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදු කර තිබේ.

එහිදී දිනේෂ් ශාෆ්ටර් මහතාට තිබූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙන්ම ඒ මහතා සමග ප්‍රශ්න සහගත මුදල් ගනුදෙනු සිදු කළ පුද්ගලයන් පිළිබඳව ද බිරිඳගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

ශාෆ්ටර් මහතා ඝාතනය වූ දින සවස් කාලයේ සිදු වූ සැක කටයුතු සිදුවීම් සම්බන්ධයෙන් ද ඒ මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.

මේ අතර ශාෆ්ටර් මහතාගේ දුරකථනයට ලැබුණු ඇමතුම් මෙන්ම කෙටි පණිවිඩ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් රහස් පොලිසිය ක්‍රියාත්මක කර ඇත.

ශාෆ්ටර් මහතාගේ දුරකථනයෙන් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකථනයට යැවූ බව කියන කෙටි පණිවිඩය සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මෙම කෙටි පණිවිඩය ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමට පෙර යැවූ එකක් ද එසේ නැත්නම් ඒ මහතා අනතුරට ලක් කිරීමෙන් පසු ඝාතකයන් විසින් යැවූ එකක් ද යන්න මෙතෙක් හෙළි වී නැත.

කෙසේ වෙතත් විමර්ශන කණ්ඩායම් පවසන්නේ ඝාතකයන් මෙම විමර්ශනය වෙනත් පැතිවලට හැරවීම සඳහා උත්සාහයක් ගෙන තිබෙන බවට සැකයක් මතු වී තිබෙන බවයි.

ශාෆ්ටර් මහතා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment