ශාෆ්ටර්ගේ වාහනේ කෙටි ආහාර පාර්සල් දෙක නෑ

777

තවම කිසිම සැකකරුවකු අල්ලා නෑ

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතන සිද්ධිය තවමත් විශාල අබිරහසක් බව විමර්ශන කණ්ඩායම පවසති. පැති කීපයක් ඔස්සේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන පවත්වාගෙන යන අතර ඊයේ (21 වැනිදා) වනතුරුත් සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ බැලූ බැල්මට මෙම ඝාතනය ප්‍රාථමික මට්ටමේ එකක් බවට පෙනී ගියද එය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඉතාම සැලසුම් සහගත ලෙස සිදුකර ඇති බවයි.

ඝාතකයන් ශාෆ්ටර් මහතා මරා දැමූ ස්ථානයේ කිසිදු සාක්‍ෂියක් ඉතිරි කර නොයෑම මොවුන් ඉතාම සැලසුම් සහගත ලෙස මෙය කළ බව පැහැදිලි වන බව විමර්ශන කණ්ඩායම් පවසති.

එමෙන්ම ශාෆ්ටර් මහතා මරා දැමූ කණ්ඩායමට අවශ්‍ය වී තිබුණේ ඔහුට හිරිහැර කර මරණ බිය ඇති කිරීම විය හැකි බව එම විමර්ශකයෝ කියා සිටිති.

ශාෆ්ටර් මහතා මරා දැමීමට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා පහසු ක්‍රම ඕනෑ තරම් යොදා ගැනීමට තිබූ බවද විමර්ශකයෝ කියති.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකථනයට ලැබුණු සැක කටයුතු දුරකථන අංක 4 ක් හඳුනාගෙන ඇති අතර එම අංක පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බොරැල්ල පොලිසිය අධිකරණයේ අවසර ඉල්ලා ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ වනවිට ශාෆ්ටර් මහතාගේ බිරිඳගෙන් ඇතුළු පුද්ගලයන් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශකයන් කටයුතු කර තිබේ.

මේ අතර ශාෆ්ටර් මහතා නිවසින් පිටවී බොරැල්ල කනත්ත දක්වා යද්දී අතර මගදී ආපන ශාලාවකින් කෙටි ආහාර පාර්සල් දෙකක් මිලදී ගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එහෙත් ශාෆ්ටර් මහතා ඝාතනයවූ මෝටර් රථය තුළ ඔහු මිලදී ගත් කෙටි ආහාර සහිත පාර්සල් දෙක තිබී නැත. මේ ආකාරයට මෙම ඝාතන සිද්ධියේ සැකසහිත සිදුවීම් රැසක් තිබෙන බව විමර්ශකයෝ කියා සිටිති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment