ශිරාන්ති හැරී එයි… කාල්ටන් අවුරුදු උත්සවය ජනතා විරෝධය මැද හකුලා ගනී

1258

නුවරඑළිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයක් සහ නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවය ප‍්‍රදේශවාසීන්ගෙන් මතුවූ විරෝධය මැද ඊයේ (01 වැනිදා* දිනයේ නතර කර දැමීමට සංවිධායක මණ්ඩලය පියවර ගත්හ.

අවුරුදු උත්සවය ඊයේ දින එම පෙර පාසලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ අවස්ථාවේ නුවරඑළිය නගරයේ පදිංචිකරුවන් පිරිසක් කළු කොඩි අතැතිව පැමිණ රටේ දැනට පවතින ගැටලූකාරී තත්ත්වය හමුවේ එය සිදු නොකරන ලෙසට එම පාසල ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් උත්සවය නතර කිරීමට පාලන අධිකාරිය පියවර ගත්හ.

එම අවුරුදු උත්සවයේ සමාරම්භක අවස්ථාවේ පොල්තෙල් පහන් සිල දැල්වීමට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහභාගි වී තිබේ. පසුව ඇය ඉන් පිටව ගොස් තිබිණි.

මේ අතර නුවරඑළිය මහ නගර සභාව විසින් ඊයේ (01* දින සිට මේ මස 30 වැනිදා දක්වා පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවය ද නතර කරන ලෙසත් පෙර පාසලේ උත්සවය නතර කරන්නැයි උද්ඝෝෂණය කළ පිරිසම උද්ඝෝෂණය කළහ.

නුවරඑළිය ග්‍රෙගරි වැව මාගස්තොට පරිශ‍්‍රයේ වසන්ත උදානයේ සමාරම්භක උත්සවය නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාගේ සහ ආරාධිතයන් කිහිප දෙනකුගේ ප‍්‍රධානත්වයෙන් පවත්වමින් සිටින අතරතුර පොලිසියේ අණ නොතකා එම පිරිස වසන්ත උදාන සමාරම්භක උත්සව භූමියට බලහත්කාරයෙන් ඇතුල් වී එම උත්සවය නතර කිරීමට කටයුතු කළහ.

නුවරඑළිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලට සහ නුවරඑළිය වසන්ත උදාන සමාරම්භක උත්සවය පැවැත්වූ භූමියට පොලිස් කැරලි මර්දන ඒකකය ඇතුළු දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා තිබුණ ද එම ආරක්ෂක වළල්ල බිඳගෙන පිරිසක් වසන්ත උදාන සමාරම්භක උත්සව භූමියට ඇතුළු වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා කියා සිටියේ වසන්ත උදානයේ සමාරම්භක උත්සවය පිරිසකගෙන් මතුවූ විරෝධය මැද්දේ නතර කළ ද සැලසුම් කළ පරිදි නුවරඑළිය වසන්ත උදානය පවත්වන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment