ශිෂ්ටාචාරයේ ගමන් මග වරදී

672

ගාල්ලේ මහමෝදර සියඹලාගහවත්තේ පදිංචිව සිටි ගිම්හාන් විමුක්ති 2021 සැප්තැම්බර් 29 වැනිදා ඉතා අවාසනාවන්ත ලෙස මළේය. මරණය කොහොමටත් අවාසනාවකි. ගිම්හාන් මැරෙන්නේ ඒ අවාසනාව හතර අතේ වපුරමිනි. ගිම්හාන් ෆේස්බුක් එකටත්, අන්තර්ජාලයටත් ඇබ්බැහි වී සිටි ශිෂ්‍යයෙකි. මේ නිසා ගිම්හාන් සහ පියා අතර නිතර ගැටුම් ඇතිවිය. මෙවැනි ගැටුමක් දුරදිග ගොස් පෙර කී 2021 සැප්තැම්බර් 29 වැනිදා ගම්හාන්ගේ පියා තම පුතාට කොසු මිටකින් පහර දුන්නේය. එය හිසට වැදුන බැවින් ගිම්හාන් මළේය.

ඉහත සඳහන් සිද්ධියේ විත්තිකරු හිරේ ගියේ නැත. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ හෙතෙම උසාවියට දඩයක් ගෙවා හිරේ නොගොස් බේරිණි. ඇත්තටම සිය පුතා ඝාතනය කිරීමට පියා තුළ සිතුවිල්ලක් නොතිබෙන්නට ඇත. එහෙත් කොසු මිට ඒ බව නොදත් අතර දරුවාගේ මොළයට හානි වන පරිදි පහර වැදී තිබිණි. ගිම්හාන්ගේ තාත්තා නිදහස් මිනිසකු ලෙස සිය ජීවිතයේ ඉදිරි කාලය ගතකරන නමුදු සිය පුත්‍රයාගේ මිනීමරුවා ලෙස තමාගේම හදවත තුළ සදාකාලික සිරකරුවකු බවට පත්වනවා ඇත.

මඩකලපුවේ කාත්තන්කුඩියේ නිවසක පසුගිය දවසක පියකු හා පුතකු අතර ආරවුලක් ඇතිවිය. පියා 65 හැවිරිදි විශ්‍රාමිකයෙකි. පුතාට අවුරුදු 32කි. පියා හා ඇතිවූ ආරවුලේදී පුතා බැට් පිත්තකින් පියාගේ ඔළුවට නෙළුවේය. නහයෙන් කටින් සෙම සහ ලේ පෙරාගෙන බිම ඇදවැටුණු පියා මඩකලපුවේ රෝහලට ඇතුළත් කරන ලදී. දවස් හතරකට පසු ඔහු මියයයි. මේ සිද්ධියේ විත්තිකරු 32 හැවිරිදි පුත්‍රයාය. පියා මැරීමේ චේතනාවෙන් පුතා බැට් පිති පහර එල්ල නොකළ බවත් එය හදිස්සි කෝපය මත සිදුවූවක් බවත් මේ නඩුවේදී නීතිඥයන් කියනවා ඇත. එවිට එම මිනීමැරුම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස රෙජිස්ටර් වීමට ඉඩ තිබේ. එවිට පුතා හිරේ යන්නේ නැත. උසාවියට දඩයක් ගෙවා ගෙදර යෑමට ඔහුට ද පුළුවන. සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ පුතා තම හදවත තුළ සදාකාලික සිරකරුවකු බවට පත්වනවා ඇත.

අපරාධ යනු ශිෂ්ටාචාරයේ පටන්ගැනීමේ සිට තිබුණු සංසිද්ධියකි. දැන හෝ නොදැන එදා සිටම මිනිස්සු අපරාධ කළහ. මීට අවුරුදු දෙතුන්දාහකට පෙර සිටි පූජක පරම්පරාව මිනිසුන් බිලිදීම අනුමත කළහ. මිනිසුන් බිලිදුන් විට ඔවුන් දිව්‍යලෝකයට යන බව එම පූජකයෝ කීහ. එසේ නම් පූජකයන් තම පියා හෝ මව බිලිදී ඔවුන්ගේ දෙව්ලොව ගමන් ඉක්මන් නොකරන්නේ මන්දැයි අජිතකේෂකම්භලී ප්‍රශ්න කළේය. අජිතකේෂකම්භලී යනු නිගන්ඨ යුගයේදී ඉන්දියාවේ සිටි නවීනතම අදහස් දැරූ පුද්ගලයාය. මනුෂ්‍යයන් සහ සත්ත්වයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස විරුද්ධ විය. ඔහු නිතරම කියා සිටියේ හැමට ජීවත් වීමට අයිතිය තිබෙන බවය. ශිෂ්ටාචාරය ක්‍රමයෙන් දියුණුවත්ම මිනීමැරුම් අඩුවූ බවක් ඔබ සිතන්නේද? එවැන්නක් කිසිලෙසකින්වත් සිදුවූයේ නැත. මිනිස්සු දියුණුවත්ම බලය පතා යුද වදින්නට පටන්ගත්හ. සමහරු ආගම පැතිරවීමට යුද වැදුනාහ. මේ සංග්‍රාමවලදී මිලියන ගණනින් ඝාතනය වූහ. මධ්‍යකාලීන යුගයේදී කුරුස යුද්ධවලදීත්, පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමවලදීත් මියගිය ගණන අපමණය.

මිනිසුන් උපන්නොත් මිය යායුතු බව ඇත්තය. එහෙත් ඔවුන් කා අතින්වත් මැරුම් නොකෑ යුතුය. ජීවත්වීම යනු මූලික අයිතියකි. මැරුම් නොකා ජීවත්වීම එම අයිතියේ වඩාත් ශුද්ධ වූ අවස්ථාවකි. අද හැම දවසකම මේ රටේ තැන් තැන්වල විශාල පිරිසක් ඝාතනය කරනු ලැබේ. පාතාල ඝාතන, මත්ද්‍රව්‍ය ඝාතන, හදිස්සි කෝපය නිසා සිදුවන ඝාතන සහ තවත් වර්ග බොහෝමයකට අයත් වන ඝාතන මේ අතර තිබේ. වෙනදා සතුරන්ගෙන් පණ ගලවාගෙන ජීවත්වීමේ වුවමනාව තිබුණේ තිරිසන් සතුන්ට පමණි. තිරිසන් ලෝකය තුළ එක සතෙක් අනෙක් සතා මරාගෙන කෑවේය. අද තත්ත්වයට අනුව මිනිසාගෙන් බේරී ජීවත්වීමට මිනිසාටම සිදුවී තිබේ. ශිෂ්ටාචාරයේ ගමන් මග වැරදිලාය.

advertistmentadvertistment
advertistmentadvertistment