ශිෂ්ටාචාරයේ මළ බෙරය වෙනුවට!

121

අප රට සාක්ෂරතාවය 92.6% වැනි ඉහළ අගයක පවතින නිසා බොහෝ දෙනා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් සුපිරි රටක් ලෙස. එහෙත්, සත්‍ය ඊට වඩා බොහෝ දුරයි. අතිශයින්ම කටුකයි.

නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන් මෙහෙම කියනවා.

“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදියට අපට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශේෂ්ඨද?”

(1944 ජුනි 02 – හැන්සාඩ් 946 පිටුව)

ඒ විතරක් නෙවේ,
එතුමා මෙහෙමත් කියනවා.

“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.”

(1944 ජුනි 02 හැන්සාඩ් 939 පිටුව)

ඇත්තටම එදා නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ පනත සම්මත කරගන්න කන්නන්ගර මැතිතුමාට පැය ගාණක් තර්ක කරන්න වුණා.

අන්න එහෙම එදා නිදහස් අධ්‍යාපනය මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් දිනා ගත්තේ.

අපි කැමති වුණත් අකමැති වුණත් අද වෙනකොට තියෙන්නේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක්.

මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ දරුවකුට ලෝකයේ දිනන්න නම් ඒ තරගකාරිත්වය තුළ කිසියම් තරගකරුවකු විය යුතුයි.

විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන වශයෙන් කඩඉම් විභාග තුනක් තියෙනවා.

එකක් ශිෂ්‍යත්ව විභාගය. තව එකක් සාමාන්‍ය පෙළ විභාගය. තවත් එකක් වන්නේ උසස් පෙළ විභාගය. 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ලක්ෂ ගණනක් දරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 181206 දෙනෙකු සුදුසුකම් ලබනවා. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට තෝරාගෙන ඇත්තේ සිසුන් 41641 ක් පමණි. (22.98%)

ඉතින්, තරගකාරීත්වය හේතුකොටගෙන අපේ රටේ දරු පරපුර බලවත් ඛේදවාචකයකට හසුවී ඉන්නවා.

අධ්‍යාපන විෂය මාලා ක්‍රමවේදයන් සකස් කිරීමේ දී අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ සැලකිලිමත් වීම ප්‍රමාණවත් ද කියන විවාදය තිබෙනවා.

ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය පිළිබඳව ලෝකයම විශ්වාසය තබත්දී තවදුරටත් අපේ රටේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය වන්නේ ගුරු කේන්ද්‍රීය ක්‍රමය.

උසස්පෙළ විභාගය අසමත් වන සිසු-සිසුවියන් ප්‍රමාණය වසරකට 80,000ක් පමණ වෙනවා. මෙම පිරිස ශ්‍රම බලකායේ විශාල පංගුවක්. එහෙත් අවාසනාවන්ත කාරණය වන්නේ ඔවුන්ව ආර්ථිකයට උරා ගැනීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැතිවීම. තෘතීයික අධ්‍යාපන ආයතන පැවතියත් තවමත් ඊට අවශ්‍ය සමාජමය වටිනාකම හෝ ගොඩනැගී නැහැ.

මෙරට අධ්‍යාපනයේ ප්‍රමුඛවම ව්‍යුහාත්මක වෙනසක් සඳහා කටයුතු කරන්නේ නැත්නම් දරුවන්ගේ ජීවිත විනාශ වී රටක ශිෂ්ටාචාරයේ මළ බෙරය වැයෙන එක නතර කරන්නට කිසිවෙකුට බැහැ.

විශේෂයෙන්ම ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදය වැනි දියුණු නූතනවාදී ක්‍රමයක් අත් හදා බැලීමටවත් උවමනාවක් නොමැතිවීම බලවත් අවාසනාවන්ත තත්ත්වයක්.

2000 වසරේ සිට ෆින්ලන්තය ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ නිල නොවන නාමය පවත්වා ගෙන යනවා. ලොව හොඳම 20 අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයේ තුන් වතාවක් ජයග්‍රාහකයා වුණේ දකුණු කොරියාව. ඩෙන්මාර්කයේ 99% සාක්ෂරතා අනුපාතයක් ඇති රට ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රම 10 අතරට පිළිගන්නවා. ප්‍රාථමික වයස් කාණ්ඩයේ සිසුන් සඳහා ලොව ඉහළම බඳවා ගැනීමේ අනුපාතය හොංකොං සතු වෙනවා. ලොව හොඳම අධ්‍යාපන පද්ධති 7 අතර ස්වීඩනය 10 වන ස්ථානයේ සිටිනවා.

”අධ්‍යාපනය ලෝකය වෙනස් නොකරයි, එය ලෝකය වෙනස් කිරීමට යන පුද්ගලයින්ව වෙනස් කරයි” යනුවෙන් පාවුලෝ ෆ්‍රෙයර් පවසා තිබෙනවා.

ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ, 34%කට පමණයි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසනවා. එහි අදහස වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැති බව.

එවැනි රටක අපි අනාගතය ගැන සුබ සිහින දකිනවා.

ෆින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් මුද්‍රිත මාධ්‍ය පත පොත ඉවත් කර ඉලෙක්ට්‍රොනික සංකල්පයක් අනුගමනය කරනවා.

ලංකාවේ තවමත් ”ටැබ්” කියන්නේ භයානක යක්ෂයෙක් සේ සලකනවා. රටක සමාජමය සහ ආර්ථික ප්‍රගතිය ඇතුළු ඉදිරි ගමනක පදනම වන්නේ අධ්‍යාපනයයි. ජනතාවගේ යහපත, සුභසිද්ධිය ඉහළින් සලකන ඕනෑම පාලනයක් අධ්‍යාපනයට ඉහළම ප්‍රමුඛතාවක් දක්වනවා. සාර්ථක අධ්‍යාපන ක්‍රමයකින් තොරව ජාතියක් ලෙස අපට ඉදිරිගමනක් හෝ ආර්ථිකය සංවර්ධනය කිරීමක් ගැන සිතිය හැකි නොවන බව අප අවබෝධ කරගත යුතුයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment