ශිෂ්‍ය නායිකාව  පොල් මද කාලා වේල පිරිමහගෙන – 3 ශ්‍රේණියේත් කඳුළු කතාවක්

1265

දිවා ආහාරය සඳහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ ශිෂ්‍ය නායක සිසුවියක පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලකින් තොරතුරු වාර්තා වෙයි.

ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියකි. ශිෂ්‍ය නායිකාවක ලෙස ද එම විද්‍යාලයේ කටයුතු කරන්නියකි.

ඇයගේ පියා ප්‍රදේශයේ කුලී රැකියාවක නිරතව සිටින අතර, ඇයගේ මව ගෙදර දොර වැඩ කටයුතු බලා ගෙන සිටින්නීය. ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියෝ කීපදෙනෙක් ද සිටිති.

එම පාසලේ දිවා විවේක අවස්ථාවේ අනෙකුත් ශිෂ්‍යයන් සමග මෙම ශිෂ්‍ය නායිකාව ද ආහාර ගැනීම සඳහා සූදානම් වූ අවස්ථාවේ මෙම සිදු වීම දැක තිබේ.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුරටත් එම පාසලේ ගුරු භවතුන් සමග සාකච්ඡා කිරීමේදී මෙම සිද්ධියෙන් පසුව, පාසලේ ගුරු භවතුන් විසින් දිවා ආහාර පාර්සල් කීපයක් සකස් කර ගෙන පැමිණ, එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

මෙම සිද්ධියට සමගාමීව 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද මෙවැනි සිදුවීමකට මුහුණ පා තිබුණි.

මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ට දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.

එහිදී 3 ශ්‍රේණියේ සිසුන්ට නියමිත ආහාර ලබා දීමෙන් පසුව, එම මව ඉතිරි බත් ද රැගෙන ආපසු යමින් සිටියාය.

එසේ පාසලෙන් පිටත්ව යන මව දෙස බලා සිටිනා එම 3 ශ්‍රේණියේ සිසුන්ගෙන් ඒ පිළිබඳව විමසත් දී, එම සිසුන් තවත් බත් ලබා දුනහොත්, තමන්ට කෑමට හැකි බව ප්‍රකාශ කර තිබේ.

එදින දිවා ආහාරය සඳහා බත් සමග පරිප්පු පමණක් ලබා දී තිබුණි.

ඒ අනුව බත් බෙදීමෙන් පසුව පාසලෙන් පිටව යන මව කැඳවූ ගුරුවරුන්, තවත් බත් තිබේදැයි විමසූ විට බත් පමණක් ඇති බවත්, පරිප්පු අවසන් වී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව අදාළ 3 ශ්‍රේණියේ සිසුන්ට දැන්වූ විට, ඔවුන් පරිප්පු නොමැතිව ඉතිරිව ඇති බත් ටික ඉල්ලා ගෙන අනුභව කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් මෙම විද්‍යාලයේ ගුරු භවතුන් විසින් සොයා බැලීමේදී මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සඳහා කිසිවක් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

ගුවන්තොටුපොළ ටී.කේ.ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment