ශිෂ්‍යත්වය සහ උ.පෙළ විභාගය නොවැම්බරයේ – අධ්‍යාපන ඇමැති

424

* සා. පෙළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ අගෝ. 28 සිට

පවතින කොවිඞ් වසංගතය හේතුවෙන් කල්දමා තිබෙන 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

ඒ අනුව මේ වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා පැවැත්වීමටත්, අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වැනිදා සඳුදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම විභාග මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට මෙයට පෙර දින නියම වී තිබුණත් රටේ අද පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ සිසුන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා එම විභාග නොවැම්බර් මාසය දක්වා කල්දැමීමට තීරණය කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ ලබන අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමටත් ඉන්පසු සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඉතා ඉක්මනින් ලබාදීමටත් කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට 6,22000 ක් පමණ සිසුන් පෙනී සිටි බවත්, ඉන් සිසුන් 1,69,000 ක් සෞන්දර්ය විෂයන්ට පෙනී සිටි බවත්, සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ කොවිඞ් තත්ත්වය නිසා නියමිත කාලයේදී පැවැත්වීමට අසීරු වූ බැවින් එම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම ප‍්‍රායෝගික පරීක්‍ෂණයන්ට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පෙර පුහුණුවීම් කටයුතු පිළිබඳව විදුහල්පතිවරු දැනුවත් කර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම මස 26 දා සිට මාසයක කාලයක් පෙර පුහුණුවීම් කටයුතු සඳහා පාසලට කැඳවීමට කටයුතු කිරීමට අවශ්‍ය කාලසටහන් සකස් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

– අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment