ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවෙලා – බෝගස්වැව විද්‍යාලයේ දෙමාපියෝ චෝදනා කරති

213

උතුරු පළාතේ වන්නි දිස්ත‍්‍රික්කයට අයත් වව්නියාව කොට්ඨාස අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් බෝගස්වැව විද්‍යාලයේ ඉකුත් 22 වැනි දින පවත්වනු ලැබූ 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට ප‍්‍රශ්න පත‍්‍රය විභාගයට පෙර දුරකථන වලට ලැබුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වා සිසු දරුවන්හට මෙන්ම දෙමාපියන්හට සාධාරණයක් ඉටුකරන මෙන් දෙමවුපියෝ රජයෙන් ඉල්ලා සිටිති.

ඉකුත් 22 වැනිදා සවස් කාලයේ බෝගස්වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවකු විසින් වව්නියාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් කච්චකුඩිය මිශ‍්‍ර පාසලේ සිසු දරුවන් කිහිපදෙනකුට ඔහුගේ දුරකථනය මගින් මෙම ප‍්‍රශ්න පත‍්‍රය යවා ඇත. ඒ අනුව ප‍්‍රදේශයේ දෙමවුපියන් මේ පිළිබදව සොයා බැලීමේදී ඉහත ප‍්‍රශ්න පත‍්‍රය බෝගස්වැව විද්‍යාලයේ සිසු දරුවන්ට කවුරුන් විසින් හෝ විභාගයට පෙර ලබාදී ඇති බවට අදහස් පළවී ඇත. වව්නියාව කොට්ඨාස කලාප කාර්යාලය පිළිබඳව විශ්වාසයක් නොමැති බැවින් අමාත්‍යාංශය මගින් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන මෙන් දෙමවුපියෝ ඉල්ලා සිටිති. එසේම මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාදීම සඳහා විභාගයට පෙනී සිටි සිසු දරුවන් කිහිපදෙනකු සිටින බවත් දෙමවුපියන් වෙනුවෙන් පෙනී සිටි කේ. සුසන්ත මහතා කියා සිටී. එසේම මෙය රජයෙන් ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළක් දැයි සැකයක් මතුවන බවද ඒ මහතා කියා සිටී.

කුට්ටිගල – සේන වී ගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment