ශී‍්‍ර ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළේ පුළුල් ඉඩක්

173

ශ‍්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප‍්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලූ චව්සෝග්ලූ මහතා පවසයි.

තුර්කි විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී මේ බව සඳහන් කළේය.

වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළ පුළුල්ව විවෘත කෙරෙන බව ද පෙන්වා දුන් තුර්කි විදේශ ඇමැතිවරයා ශ‍්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා සම්බන්ධයෙන් තම රටේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත තුර්කි ජනාධිපතිවරයාගේ සුබාශිංසන පිරිනැමූ මෙව්ලූ චව්සෝග්ලූ මහතා පසුගිය වසරේ තුර්කියට පැමිණෙන ලෙස කළ ආරාධනය නැවත වරක් සිහිපත් කරන බව පැවසීය.

ශ‍්‍රී ලංකාවේ කොවිඞ් මර්දනයට විවිධ වෛද්‍ය උපකරණ ඇතුළුව ලබාදුන් ආධාර සහ උපකාර පිළිබඳව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තුර්කි විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළේය.

තුර්කි තානාපති ආර්. ඩිමෙට් සෙකර්සි ඕග්ලූ, විශේෂ උපදේශක කොරේ එර්ටස්, මාධ්‍ය ප‍්‍රකාශක ටන්ජු බිල්ජීක් සහ තානාපති කාර්යාල ප‍්‍රධානි මුහමඞ් බිලාල් සග්ලම්, විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment