ශී‍්‍ර ලංකාවට පළඟ අනුශූරතාව

257

* ආසියානු සත් සාමාජික  රග්බි පාපන්දු තරගාවලිය

ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායිහි සුප‍්‍රසිද්ධ ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවැති ආසියානු සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ පළඟ අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා යන දෙපිලටම සිදු විය.

පිරිමි කණ්ඩායම් 08 ක සහ කාන්තා කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ පළඟ අනුශූරතාව හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වන අතර වාරයේ එය සමස්ත ශ්‍රේණිගත කිරීම් අනුව සටහන් වූයේ ආසියාවේ 06 වැනි ස්ථානයටය.

ශී‍්‍ර ලංකාවට පළඟ අනුශූරතාව

ඒ අනුව පිරිමි අංශයේ ප‍්‍රථම ස්ථානය හොංකොං දේශයට ද දෙවැනි ස්ථානය දකුණු කොරියාවට ද තෙවන ස්ථානය ජපානයට ද සිව් වැනි ස්ථානය චීනයට ද පස් වැනි ස්ථානය පිලිපීනයට ද හිමි විය. මෙහි 07 ස්ථානය මැලේසියාවට හිමිවන අතර වාරයේ 08 ස්ථානයෙන් සෑහීමට පත් වන්නට පිලිපීනයට සිදු විය.

කාන්තා අංශයේ ප‍්‍රථම ස්ථානය ජපානයට ද දෙවන ස්ථානය චීනයට ද තෙවන ස්ථානය හොංකොං දේශයටද 04 ස්ථානය කසකස්තානයටද 05 ස්ථානය තායිලන්තයට ද හිමිවූ අතර 7 ස්ථානය මැලේසියාව සතු විය. අවසන් ස්ථානය හෙවත් 08 ස්ථානයෙන් සෑහීමට පත්වන්නට පිලිපීනයට සිදු විය.

පිරිමි ‘‘කුසලාන’’ අවසාන තරගයේදී දකුණු කොරියාව ලකුණු 33-07 කින් පරාජයට පත් කරමින් වසරේ ශූරතාව තහවුරු කර ගැනීමට ‘‘හොංකොං’’ දේශය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

චීනය ලකුණු 14 – 12 කින් පරාජයට පත් කළ ‘‘ජපානය’’ ට එකී කාන්තා අංශයේ කුසලාන ශූරතාව හිමි විය.

ලීග් ක‍්‍රමයට පැවති මූලික වටයේදී මුහුණ දුන් තරග ත‍්‍රිත්වයම පරාජය වීම හේතුවෙන් කුසලාන අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට අධීෂ වීරතුංග මෙහෙයවූ ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායමට අවස්ථාව නොලැබිණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ‘‘පළඟ’’ අවසන් පූර්ව වටයට වරම් ලද ශ‍්‍රී ලංකා පිල එහිදී ප‍්‍රතිවාදී පිලිපීනය තියුණු තරගයකින් අනතුරුව ලකුණු 28 – 26 ක් ලෙස පරාජය කරමින් අවසන් තරගයට වරම් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ක‍්‍රියාත්මක කෙරුණු පළඟ අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 29 – 10 ක් ලෙස පරාජය ලැබීමට සිදු විය.

මූලික වටයේදී ජපානය හමුවේ ලකුණු 31 – 14 ක් ලෙසද එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 29 – 07 ක් ලෙසද චීනය හමුවේ ලකුණු 32 – 00 ක් ලෙස ද ශ‍්‍රී ලංකාව පරාජය විය.

මේ අතරවාරයේ කාන්තා පළඟ අවසන් තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 45 – 00 ක් ලෙස පරාජය ලබමින් අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට ශ‍්‍රී ලංකා පිලට සිදු විය.

එකී අවසන් පූර්ව වටයේ දී පිලිපීනය පරාජය කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. ඒ ලකුණු 19 – 15 ක් ලෙසිනි.

ලීග් ක‍්‍රමයට පැවති මූලික වශයේදී මැලේසියාව ලකුණු 12 – 10 ක් ලෙස පරාජය කරමින් පෙර ගමනකට අවතීර්ණ වුවත් දෙවැනි තරගයේදී චීනයට ලකුණු 47 – 00 ක් ලෙස ද තෙවන තරගයේදී හොංකොං දේශයට ලකුණු 38 – 05 ක් ලෙස ද පසු බැසීමට දුලානි පල්ලේකොන්දගේ මෙහෙයවූ ශ‍්‍රී ලංකා පිලට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment