ශී‍්‍ර ලංකාවේ අවසන් තරග බලාපොරොත්තු වියැකෙයි – දකුණු ආසියානු පාපන්දු තරගාවලිය

301

ශ‍්‍රී ලාංකීය පාපන්දු ක‍්‍රීඩා ලෝලීන් විසි පස් අවුරුද්දක් තිස්සේ ඇඟිලි ගනිමින් සිටි දකුණු ආසියානු පාපන්දු තරගාවලියක් ආශ‍්‍රිත අවසන් සටනක බලාපොරොත්තුව වියැකී යන ආකාරය ඉකුත් සඳුදා (04 දා) දැකගත හැකි වූයේ නේපාලය හමුවේ ලත් ගෝල් 03 – 02 ක පරාජයත් සමගිනි.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් සිකුරාදා (01 දා) මුහුණ දුන් පළමු තරගයේ දී බංග්ලාදේශය හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස ලත් අනපේක්ෂිත පරාජයත් සමගම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට එල්ල වූයේ දැඩි මානසික පීඩනයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව 168 ස්ථානය හිමිකර ගෙන සිටින නේපාලයට එරෙහිව තම උපරිමය ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණ ඇතිව පිටියට අවතීර්ණ වුවත් එහිදී ප‍්‍රදර්ශනය වූ දුර්වලතා හමුවේ පරාජය අත්වි`දින්නට ශ‍්‍රී ලංකා පිලට සිදු විය.

මාලේ අගනුවර පිහිටි ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමාවන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගත් නේපාලය නියමිත මිනිත්තු 90 අවසානයේ ගෝල් 03 – 02 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීම කැපී පෙනුණි.

ශ‍්‍රී ලංකා පිලේ පළමු ගෝලය උපක‍්‍රමශීලී පා පහරක් ආශ‍්‍රිතව වාර්තා කර ගැනීමට මර්වින් හැමිල්ටන් සමත් වූ අතර දඬුවම් පහරක් ඇසුරෙන් දෙවන ගෝලය ලබා ගැනීමට ඩිලන් සෙනන් ද සිල්වාට හැකි විය. එම ගෝල් ද්විත්වයම දෙවන භාගයේදී සටහන් වුණි.

මෙම ජයග‍්‍රහණයත් සමගම ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම නම ස`දහන් කර ගැනීමට නේපාලය සමත් විය. ඒ ප‍්‍රසාද ලකුණු 06 ක් ලබා ගනිමිනි.

නේපාලය මුහුණ දුන් පළමු තරගයේ දී සත්කාරක මාලදිවයින ගෝල් 01 – 00 ක් ලෙස පරාජය කිරීමට සමත් වීම ද විශේෂත්වයකි. පසුගිය වර ශූරයන් වූ මාලදිවයින තම රටේදී මුහුණ දුන් පළමු තරගයේදීම පරාජය ලැබීම කැපී පෙනුණි.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට මෙන්ම මාලදිවයිනට ද ප‍්‍රසාද ලකුණු පුවරුවේ එකදු ලකුණක් හෝ සටහන් කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ.

මෙවර තරගාවලිය යටතේ ක‍්‍රියාත්මක කෙරුණු තෙවන තරගය ප‍්‍රබල ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණි. අතිශය තියුණු වූ ස්වරූපයක් ඉසිලූ මෙම තරගය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වීම කැපී පෙනුණි. ඒ අනුව ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානයට පත් වන්නට අපරාජිත බංග්ලාදේශයට හැකිවිය. ඒ ලකුණු 04 ක් ලබා ගනිමිනි. ප‍්‍රසාද ලකුණු 01 ක් ලබා ගනිමින් ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවෙයි.

ඉන්දියාවට සහ මාලදිවයිනට තවත් තරග 03 ක් ඉතිරිව ඇති අතර නේපාලය, බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාවට ඉතිරි වී ඇති තරග සංඛ්‍යාව 02 බැගිනි. එ් අනුව පිළිවෙලින් ලබන 07 වැනිදා සහ 10 වැනිදා ඉන්දියාවට සහ මාලදිවයිනට එරෙහිව ශ‍්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment