ශී‍්‍ර ලංකාවේ දෙවැනි උත්සාහයත් වරදී – ආසියානු කුසාලන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය

167

ආසියානු කුසලාන වයස අවුරුදු  23 න් පහළ පිරිමි පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ මූලික වටයට අවතීරණ වෙමින් මුහුණ දුන් දෙවන තරගයේදී ද ගෝල් 05 – 00 ක අමිහිරි පරාජයක් අත්විඳීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ සත්කාරක කටාර් රාජ්‍ය හමුවේ පසු බැසීමට සිදුවීමෙනි.

සත්කාරක කටාර් රාජ්‍ය නොකඩවා ලත් දෙවැනි ජයග‍්‍රහණය ද ඒ අනුව සටහන් වුණි.

කටාර් හී දෝහා අගනුවර දී දැන් ක‍්‍රියාත්මක ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී

ශ‍්‍රී ලංකාවට එරෙහිව අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට කටාර් ක‍්‍රීඩකයන්හට හැකි වූයේ තමන් සතු ආක‍්‍රමණික ක‍්‍රීඩා පිළිවෙත සහ ආරක්ෂාකාරී ක‍්‍රීඩා රටාවේ දක්ෂතාව මොනවට පැහැදිලි කරමිනි.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 02 – 00 ක් ලෙස පෙරමුණේ පසු වූ කටාර් රාජ්‍ය දෙවන භාගයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව තවත් ගෝල් 03 ක් රැුස්කර ගැනීමට සමත්වීම එහිදී කැපී පෙනුණි.

මෙම තරගය ඇරඹී 28 (හසීම්), 39 (යූසූෆ්), 54 (නායිෆ්), 62 (ඒ.අල්ගානී) සහ 89 (හසීම්) මිනිත්තු වලදී අදාළ ගෝල් වාර්තා කර ගැනීමට කටාරයට හැකි විය.

මෙදින සිරියාව සහ යේමනය අතර ක‍්‍රියාත්මක වූ තරගය ගෝල් 00 – 00 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඒ අනුව ප‍්‍රසාද ලකුණු 06 ක් ලබා ගනිමින් ‘ඒ’ කොටසේ පෙරමුණේ පසුවන්නට කටාර් රාජ්‍යය සමත්ව සිටී. දෙවැනි ස්ථානයට පත්ව සිටින සිරියාව ලකුණු 04 ක් ලබා ගෙන ඇති අතර යේමනය සතු ලකුණු සංඛ්‍යාව 01 කි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය හෙට (31) යේමනයට එරෙහිව පැවැත්වේ. මෙවර තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය ද එයයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment