ශී‍්‍ර ලංකා යොවුන් පිලට තියුණු ජයක්

415

සංචාරක බංග්ලාදේශ 19න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව ඊයේ (18 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා 19න් පහළ යොවුන් කණ්ඩායම සමත්විය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගනිමින් 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකා යෞවනයෝ සමත්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ යොවුන් ඉනිම පන්දුවාර 49.3කදී ලකුණු 227කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. තීරණාත්මක අවසන් පන්දුවාරයේදී එක් කඩුල්ලක් ඇතැතිව ජයග‍්‍රහණය සඳහා ලකුණු 9ක් ලබා ගැනීමට සංචාරක කණ්ඩායමට සිදුවිය. එ් අනුව අවසන් පන්දුවාරය කි‍්‍රයාත්මක කළ මතීෂ පතිරණගේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ජයග‍්‍රාහී මාවත විවර කිරීමට අෂිකුර් සමන් සමත්විය. අනතුරුව කි‍්‍රයාත්මක කළ දෙවැනි පන්දුව වයිඞ් පන්දුවක් ලෙසින් සටහන් වෙද්දී කි‍්‍රයාත්මක කළ නීත්‍යානුකුල එම පන්දුවාරයේ දෙවැනි පන්දුවට තවත් එක් ලකුණක් කරා පැති මාරු කිරීමට අෂිකුර් සමන් සමත්විය. එ් අනුව බංග්ලාදේශයට ජයග‍්‍රහණය සඳහා පන්දු 3කදී පහසුවෙන්ම තවත් ලකුණු දෙකක් පමණක් අවශ්‍ය වී තිබුණු අවස්ථාවේදී අවසන් පිතිකරු රිපෝන් මොන්ඩාල් දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට පවන් පතිරාජ සමත්විය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් සනිටුහන් කළ මහෆිජුල් ඉස්ලාම් සහ ඉෆ්ටිකර් හුසේන් පළමු කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගීය. මහෆිජුල් ඉස්ලාම් පන්දු 96කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 75ක් සහ ඉෆ්ටිකර් හුසේන් පන්දු 31කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 36ක් වාර්තා කළේය. නායක එස්. එම්. මෙහෙරොබ් ලකුණු 33ක් සහ අරිෆුල් ඉස්ලාම් ලකුණු 23ක් ලබා ගත්තේය.

ජාත්‍යන්තර දඹුලූ කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා යොවුන් පිලේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව පිතිප‍්‍රහාරය දියත් කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 228ක් වාර්තා කළේය.

ශී‍්‍ර ලංකා ඉනිමේ ආරම්භක පිතිකරු සම්බන්ධතාව මුළු ලකුණු 11කට සීමා වෙද්දී දෙවැනි කඩුල්ලට ලකුණු 66ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සදීශ් ජයවර්ධන සහ ෂෙවෝන් ඩැනියෙල් සමත් විය. සංයමයෙන් යුතුව සිය ඉනිම දියත් කළ සදීෂ් පන්දු 94කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 58ක් ශී‍්‍ර ලංකා ඉනිමට එක්තු කළේය. ෂෙවෝන් ඩැනියෙල් පන්දු 58කට මුහුණ දී ලකුණු 34ක් ලබා සිටියදී අරිෆුල් ඉස්ලාහම්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. මැදපෙළ ශක්තිමත් කළ පවන් පතිරාජ පන්දු 68කදී හතරේ පහර 4ක් සමගින් අර්ධ ශතකයක් වාර්තා කළේය.

ශී‍්‍ර ලංකා ඉනිම 200 සීමාව කරා රැගෙන යෑමට සමත් වූ රවීන් ද සිල්වා ලකුණු 25ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්වී ගියේය. නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 15ක් සහ චමිඳු වික‍්‍රමසිංහ පන්දු 17කදී ලකුණු 27ක් ශී‍්‍ර ලංකා ඉනිමට එක් කළේය.

ලකුණු සටහන

ශී‍්‍ර ලංකා යොවුන් පිල පන්දුවාර 50කදී කඩුලූ 8ක් දැවී ලකුණු 228යි (සදීෂ ජයවර්ධන 58, ෂෙවෝන් ඩැනියෙල් 34, පවන් පතිරාජ 51, රවීන්ද සිල්වා 25, දුනිත් වෙල්ලාලගේ 15, චමිඳු වික‍්‍රමසිංහ 27, රිපෝන් මොන්ඩාල් 49/3, අෂිකුර් සමන් 54/2, අරිෆුල් ඉස්ලාම් 27/1, එස්. එම්. මෙහෙරබ් 32/1)

බංග්ලදේශ යොවුන් පිල පන්දුවාර 49.3කදී සියලූ දෙනා දැවී ලකුණු 227යි (මහෆිජුල් ඉස්ලාම් 75, ඉෆ්ටිකර් හුසේන් 36, එස්. එම්. මෙහෙරබ් 33, අරිෆුල් ඉස්ලාම් 23, දුනිත් වෙල්ලාලගේ 30/3, ටෙ‍්‍රවීන් මැතිව්47/2, මතීෂ පතිරණ 26/3)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment