ශුද්ධවර ෆ්‍රැන්සිස් සාලෙස් මුනිතුමා සිදුකළ පෙළහර හඳුනා ගනිමු

125

ශුද්ධවර ෆ්‍රැන්සිස් සාලෙස් මුනිතුමා ගැන සොයා බැලීමේදී ගම්‍ය වන දෙයක් ඇත. එනම් එතුමා ලේඛකයන්ගේ පුවත්පත් කලාවේදීන්ගේ ග්‍රන්ථ ප්‍රකාශකයන්ගේ අරක්ගත් සාන්තුවරයා වන බවයි. එතුමා ප්‍රංශ ජාතිකයෙකි. නීතිඥයෙක්, ලේඛකයෙක්, දේශපාලනඥයෙක් වශයෙන් උන්වහන්සේ දක්ෂතා පෙන්නුම් කර තිබෙන අතර එතුමාණන්ගේ ජීවිත කැඳවීම දෙවියාණන් වහන්සේට සේවය කිරීම බව එතුමෝ ශුද්ධෝත්තම අනුග්‍රහය මගින් තේරුම් ගත්හ.

ශුද්ධවර ෆ්‍රැන්සිස් සාලෙස් මුනිඳුන් වරෙක ජෙරොම් ජෙමින් නමැති පුද්ගලයෙක් දියෙහි ගිලී ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවක ඔහුගේ සිරුර භූමදානය කිරීම සඳහා රැගෙන පැමිණ විට එම මළ සිරුර දුර්ගන්ධ වී තිබිණි. එක විටම එම මෘත දේහය මත ප්‍රාණය ඇති කර සාන්ත ෆ්‍රැන්සිස් සාලෙන් මුනිඳාණන්ට තුති පැසසුම් කිරීම ආරම්භ විය. එමගින් ප්‍රකාශ වනුයේ එතුමා රදගුරු අභරණවලින් සැරසී පැමිණ අතිශයින් විරාජමනාව, මහානුභාව සම්පන්නව දර්ශනය වී තමන්ට යළි ජීවිත දානය කළ බවයි.

එපමණක් නොව “ප්‍රැන්සිස්කා දෙලාපායේ” නමින් හඳුන්වන කාන්තාවක් ගංගාවකට වැටී මියගිය අතර ඇයගේ සිරුර සොයා ගත් අනතුරුව සම්පූර්ණයෙන්ම ඉදිමී දුගඳ විහිදිණි. ඇතමෙක් දෙවිඳාණන් කෙරෙහි ඇදහිල්ලේ පිහිටමින් එම දේහය සොහොන් පොළට රැගෙන ගියේය. එහිදී ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සාලෙස් මුනිතුමාට ඉතා දැඩිව යාඥා කරන විට කිසියම් අන්දමක තුවාලයක් හෝ ඉදිමී දුර්ගන්ධය පැවැති බවට කිසිදු සලකුණක් නොමැති වන ආකාරයට මළ සිරුරට ප්‍රාණය ලබා දෙන ලද්දේය.

මෙතුමා අංශභාග රෝගීන්, කොරුන් සුවපත් කළ බවට ද විවිධ සාක්ෂි ලැබී ඇත. ජේන් පෙත්‍රෝනිලා එව්රාස් නමින් දැරියක් සිටියාය. ඇයට අංශභාග රෝගය තිබිණි. එම දැරියගේ උකුලෙහි පටන් දෙපතුළ තෙක් රුධිරය නොමැතිකමින් වියළෙමින් කිසිදු ආකාරයකින් හෝ ඇවිදීමට අපේක්ෂාවක් නැතිව සිටියාය. ඇයගේ පියා එම දැරිය වෙනුවෙන් ෆ්‍රැන්සිස් සාලෙස් සාන්තුවරයාගේ සොහොන් පොළ වෙතට පැමිණ යාඥා කළ අතර එම දැරිය එකෙණෙහිම සුවපත් විය. ඉන්පසු ඇය ස්වකීය මවගේ තුරුලට ගිය බවට සාධක පවතී.

දස හැවිරිදි වියේ පසු වූ ‘ක්ලෝඩ් ජූලියෙර්’ දරුවාට ද අංශභාග රෝගය පැවතිණි. ඔහුගේ සන්ධි පුරුක් එකට ගැට ගැසී තිබිණි. ඉතා දැඩි වේදනාවක් ද තිබිණි. ඔහුගේ දයාබර මෑණියන් එතුමාගේ සොහොනට සිපාචාර කොට, දෙවරක් පැමිණ ඉන්පසු කිසිදු පිළිසරණක් නොමැතිවූ විට තෙවෙනි අවස්ථාවේ ගිය විට ගැට ගැසුණු සන්ධි පුරුක් ලිහිල් වන්නට පටන් ගත්තේය. ඔහු මුළුමනින්ම සුවය ලබා මහා මාර්ගයේ පයින් ගමන් කළේය.

උපතින් අන්ධ සත් හැවිරිදි වියේ පසු වූ “ක්ලෝඩ් මර්මෝන්’ නම් වූ දරුවා තමන්ට පෙනීම ලබා දෙන ලෙසට දවස් 9 ක් ෆ්‍රැන්සිස් සාලෙස් රදගුරු තුමාගේ ප්‍රතිමාව හමුවේ වැඳ වැටී එහි දෙපා සිපගත් කළ සම්පූර්ණ පෙනීම ඔහුට ලැබිණි.

සාන්තුවරු හෙවත් මුනිවරු අපගේ අවශ්‍යතා හමුවේ කිතුතුමා හමුවේ මධ්‍යස්ථ වෙති. මුනිවරුන් වෙතින් අප මූලික ලෙස බලාපොරොත්තු විය යුත්තේ අපගේ අවශ්‍යතා ලබා ගැනීමට මැදිහත් වන්නට පමණක් නොවන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. මූලිකවම අප ඔවුන්ගේ ජීවිතාදර්ශ අප දිවියට බද්ධ කරගත යුතුය. එවිට අපට නිසි ලෙස දෙවිඳුන් කෙරෙහි යොමු වන්නට අවස්ථාව ලැබෙනු ඇත.

මලින්ත බෝපෙආරච්චි

දළුගම කැලණිය

advertistmentadvertistment
advertistmentadvertistment