ශුද්ධ වූ සතියේ දින තීරණය කරන්නේ කෙසේද?

233

නත්තල, සිංහල අලුත් අවුරුද්ද, තෛපොංගල් වැනි ජාතික හා ආගමික උත්සව සඳහා අවුරුද්දේ කිසියම් මාසයක නිශ්චිත දිනයක් යොදා ගෙන තිබේ. එහෙත් පාස්කුවට අදාළ අළු බදාදා, ගොබ් ඉරිදා, මහ බ්‍රහස්පතින්දා, මහ සිකුරාදා, ආලෙලුයා සෙනසුරාදා හා පාස්කු ඉරිදා සඳහා නිශ්චිත දින නොමැති අතර එක් එක් වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල විවිධ දින ඒ සඳහා යොදා ගනු ලැබේ. මෙය ඇතැමකුට ප්‍රහේලිකාවක් විය හැකිය.

කිතුනු දිවියේ අති උත්තම වූද, අති පැරණි වූද මංගල්‍ය පාස්කුවයි. ජේසු සමිඳුන්ගේ දුක් ප්‍රාප්තිය, මරණය හා උත්ථානය අපි පාස්කු අභිරහස තුළ සමරන්නෙමු. ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ නික්ම යෑම පොතෙහි 12 වන පරිච්ඡේදයෙහි පාස්කු මංගල්‍යය පිළිබඳව සඳහන් වේ. ඒ පුරාණ ගිවිසුමේ ජනතාව හෙවත් ඊශ්‍රායෙල්වරුන් සෑම වසරකම පැවැත්වූ පාස්කුවයි. “ස්වාමින් වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරොන්ට කතාකොට මෙසේ වදාළ සේක. මේ මාසය හැම මාසවලටම මුල් මාසය විය යුතුය. අවුරුද්දේ පළමු වන මාසය විය යුතුය.” (නික්මයාම 12:1-2) මෙම දිනය “නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද ස්වාමීන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙසද” පැවැත්විය යුතු බව එහි 12:14 සඳහන් කරයි. තවද මතු සියලු පරම්පරාවලටම එය සදහටම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු බව ද සඳහන් වේ.

නව ගිවිසුමේ ලුක් සුභාරංචියේ 2:44 සඳහන් වන්නේ “ජේසුස් වහන්සේගේ මවුපියෝ ද අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ” යනුවෙනි. ජේසු සමිඳුන් ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වැළඳීම ගැන මාක් 14-12 ලුක් 22-7, මතෙව් 26:17 හා ජොහාන් 13-21 වශයෙන් සුවිශේෂකවරු සිවුදෙනාම සඳහන් කරති. මෙම පැරණි පාස්කුවට නව අරුතක් ලැබුණේ ජේසු සමිඳුන්ගේ ජීවිතය කුරුසිය මත පුදා උත්ථාන වීම තුළිනි. ඒ අනුව පාස්කු ඉරිදා උත්ථානය සිදු වූ බව පිළි ගැනෙතත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් යොදා ගැනීම ගැන මතභේද පැවතිණි. ජුදෙව් සිරිත අනුව පෙරදිග සභාව තුළ උත්ථානය සැමරීම මාර්තු 17 දා සිදු කරනු ලැබිණි. සාම්ප්‍රදායිකව යුදෙව්වන් මාර්තු 14 දින පාස්කු භෝජනය වැළඳූ අතර එදින අන්තිම රාත්‍රී භෝජනයත් මාර්තු 16 මරණයත් 17 උත්ථානයත් සැමරිණි. මේ දිනයන් සතියේ කවර දිනවල යෙදේද යන්න ගැන සැලකිලිමත් වූයේ නැත.

පාස්කුව ඉරිදා දිනයට යොදා ගැනීම ගැන බටහිර සභාව උනන්දු වූයේ එය ඉරිදාවක සිදුවූ බවට ඇති විශ්වාසය අනුවය. ඒ නිසා ක්‍රි.ව. 325 නිසියානු මන්ත්‍රණ සභාවේදී මාර්තු මස 21 දාට පසුව යෙදෙන පෝය දිනයට පසුව එළඹෙන සිකුරාදා මහ සිකුරාදා ලෙස යොදාගෙන ඒ අනුව පාස්කු ඉරිදා වශයෙන් ඊළඟ ඉරිදා යොදා ගැනීමට තීරණය කරන ලදී. පෝය දිනය සිකුරාදා උදේ නම් එදින මහ සිකුරාදා ලෙස යොදා ගැනේ. මෙයට කදිම නිදසුන වන්නේ 2019 පසුගිය වසරේ මාර්තු 21 දාට පසුව යෙදුන පෝය දිනය අප්‍රේල් 19 වීමත් එදින මහ සිකුරාදා ලෙස යොදා ගැනීමත්ය. 2017 වසරේ මාර්තු 21 ට පසුව යෙදුන පෝය දිනය අප්‍රේල් 10 විය. ඒ අනුව අප්‍රේල් 14 මහ සිකුරාදා විය. 2020 මාර්තු 21 ට පසුව යෙදෙන පෝය දිනය අප්‍රේල් 07 ය. ඒ අනුව මහ සිකුරාදා අප්‍රේල් 10 ට යොදා ගෙන තිබේ. මෙලෙස පාස්කු ඉරු දින මාර්තු 23 හා අප්‍රේල් 25 අතර දිනයකට යෙදෙන අතර ඒ දැනට භාවිත ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුකූලවය. දින වකවානු ගැන පැවති මතභේදය නිරාකරණය කරමින් බටහිර සභාව විසින් 18 වන ශත වර්ෂයේ සිට මෙම දින නම් කරනු ලැබිණි.

● කැලිස්ටස් ජයමාන්න

advertistmentadvertistment
advertistmentadvertistment