ශූරයන්ගේ තීරණය හෙටට කල්දමා ශ්‍රී ලංකා “ඒ” තරගාවලිය සම කරයි

235

තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවැනි තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 86 ක ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් (1-1)ක් වශයෙන් සම තත්ත්වයට පත් කර ගැනීමට පෙරේදා (18 වැනිදා) පස්වරුවේ සමත්වූහ.

ඒ අනුව හෙට (21 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමි වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවෙනි තරගයේදී ලකුණු 316 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 38.1 කදී ලකුණු 229 කට දැවී ගියේය.

මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු පා දඟ පන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත ලයන්ස් පිලේ කඩුලු 5 ක් බිද හෙළීමට සමත් වූ අතර පන්දුවාර 8.1 ක් යැවූ දුශාන් සිය කඩුලු 5 දවා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදීන් හමුවේ ලබා දී තිබුණේ ලකුණු 43 ක් පමණි.

පළමු එක්දින තරගයේදීද ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත් දුශාන් මෙම තරගයේදී දවා ගන්නා ලද කඩුලු 5 ත් සමඟ තරග දෙකේදී ලකුණු 99 කට කඩුලු 8 ක් දවා ගෙන තිබේ. එංගලන්ත ලයන්ස් කණ්ඩායම 28 වැනි පන්දුවාරය වන විට කඩුලු 2 කට ලකුණු 164 ක් වශයෙන් අවශ්‍ය වේගය රඳවා ගෙන සිටි නමුත්, එතැන් සිට තරගයේ පාලනය අතට ගත් දුශාන් හේමන්ත පන්දු දෙකක් ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙත හරවා දුන්නේය. සිය කඩුලු 5 දවා ගැනීමේදී ප්‍රතිවාදී නායක මැතිව් ෆිෂර් දවා ගැනීම වෙනුවෙන් දුශාන් ගුවනට පැන තනි අතින් රැක ගන්නා ලද උඩ පන්දුවද අති විශිෂ්ට ගණයේ විය.

ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් තිදෙනා අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පන්දුවාර 50 අවසනදී කඩුලු 7කට ලකුණු 315 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ට හැකියාව ලැබිණ.

එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ඉතාමත් විශ්වාසනීය අන්දමින් පන්දුවට පහර දුන් කෲස්පුලලේ මේසන් ක්‍රේන්ගේ පන්දුවකට ටොම් ප්‍රේස්ට් අතට උඩ පන්දුවක් දී දැවී යන විට ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 67 කදී වාර්තා වුණු කෲස්පුල්ලේ තම ඉනිම සඳහා හතරේ පහර 12 ක් එල්ල කර තිබුණේය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11 කදී දැවී ගියද කෲස්පුල්ලේට අනගි සහයක් ලබා දුන් නුවනිඳු තැන්පත් පිතිකරණයක යෙදෙමින් ලකුණු 57 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු නුවනිඳුගේ ඉනිම පන්දු 70කින් සමන්විත විය. ලකුණු 27 ක් ඇතුළත නුවනිඳු සහ කෲස්පුල්ලේ දැවීයෑමෙන් පසු පිටියට එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ නායක සදීර සමරවික්‍රම තරගයේ පසු භාගයේ වගකීම අකුරටම ඉටු කරමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක් එකතු කළහ.

නවසීලන්ත තරග සංචාරයේ එක් දින තරගාවලිය සඳහා එක් කර ගැනීමේ අදහස ඇතිව මෙම තරගාවලියට යොදවන ලද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 53 කදී ලකුණු 50 ක් රැස් කර ගෙන තමන් සතු හැකියාව පෙන්නුම් කළේය. සදීර සමරවික්‍රම පන්දු 42 කදී ලකුණු

40 ක් රැස් කරගත්තේය. සුමින්ද ලක්ෂාන් පන්දු 27කදී ලකුණු 35 ක් ද දුනිත් වෙල්ලාලගේ පන්දු 17 කදී ලකුණු 15ක් ද රැස් කරගෙන ශ්‍රී ලංකා “ඒ” ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටට කැඳවාගෙන ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment