ශෝකය සහ මරණින් මතු ජීවිතය ගැන කියන ශෙහාන්ගේ පොත බුකර් සම්මානය දිනයි  

431

ලොව පිළිගත් බුකර් සම්මානය වසර 30කට පසු යළිත් ලාංකිකයෙකුට දිනා ගැනීමට හැකිව තිබේ. සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන ‘සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා’ (Seven moons of Mali Almeida) වේ. 2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසසුමට ලක් වෙමිනි. බුකර් සම්මාන දිනූ මෙම නවකතාව මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියකු පිළිබඳ ලියැවී තිබේ. ශ්‍රී ලංකාවේ උපත ලැබූ ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ, 1992 වසරේ ‘ඉංග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) කෘතිය වෙනුවෙනි. කරුණාතිලක, 1975 දී ශ්‍රී ලංකාවේ ගාල්ලේ උපත ලැබූ අතර හැදී වැඩුණේ කොළඹ ය.

ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය. ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි.ඔහු සුප්‍රසිද්ධ The Guardian” Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ The Economic Times ආදී සඟරාවලට ලිපි සම්පාදනය කරයි.

ශෝකය සහ මරණින් මතු ජීවිතය ගැන කියන ශෙහාන්ගේ පොත බුකර් සම්මානය දිනයි  

බුකර් සම්මාන නිර්දේශ කමිටුවේ සභාපති නීල් මැක්ග්‍රෙගර් පවසා තිබුණේ මෙම ග්‍රන්ථය ලෝකයේ අඳුරු හදවත ලෙස විස්තර කරන ජීවිතය සහ මරණය හරහා රෝලර්කෝස්ටර් ගමනක පාඨකයා රැගෙන යන බවයි. බි්‍රතාන්‍ය ගාර්ඩියන් පුවත්පත පවසන්නේ සම්මාන දිනූ මේ නවකතාව හාස්‍යය සහ ව්‍යාකූලත්වයෙන් පිරුණු එකක් වන අතරම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඇතුල් පැත්ත හෙළිදරව් කිරීමට සැරසෙන බවයි. බි්‍රතාන්‍ය කැමිලා රැජන විසින් කරුණාතිලක වෙත බුකර් සම්මානය පිරිනමන ලද අතර මේ ඇය මුලින්ම සහභාගි වූ මහජන නිල කටයුත්ත වේ. පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ ඩේමන් ගල්ගුට් විසින් ශ්‍රී ලාංකික ලේඛකයාට පවුම් 50,000ක මුදල් ත්‍යාගය පිරිනැමීය. සිය ත්‍යාගය ලබා ගනිමින් සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් ශ්‍රී ලාංකේය ජනතාව අමතමින් ශෙහාන් කරුණාතිලක ප්‍රකාශ කර ඇත්තේ, “මම පොත් ලියන්නේ ඔබ වෙනුවෙන් අපි මේ කතා බෙදාහදා ගනිමු” යනුවෙනි. මෙවර බුකර් ත්‍යාගය සඳහා වූ කෙටි ලැයිස්තුවට බි්‍රතාන්‍ය කතුවරයකු වන ඇලන් ගාර්නර්ගේ “ට්‍රකල් වෝකර්”, සිම්බාබ්වේ කතුවරයකු වන නොවයලට් බුලවායෝගේ “ග්ලෝරි” සහ ඇමරිකානු ලේඛක පර්සිවල් එවරෙට්ගේ “ද ටී්‍රස්” ද ඇතුළත් විය. එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ කරන ග්‍රන්ථ “බුකර්” සම්මානය සඳහා සලකා බැලේ. ශෙහාන්ගේ ග්‍රන්ථය මේ වසරේ අගෝස්තුවේ ප්‍රකාශයට පත්කරන ලදි. බුකර් සම්මාන ලබා දීම ආරම්භ වූයේ 1969 සිටය. ප්‍රකට ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි 1997 දී බුකර් සම්මානය දිනා ගත්තාය.

මයිකල් ඔන්ඩච්චි තමාට බුකර් සම්මානය දින ගැනීමට හැකිවීම ගැන කලකට පෙර මෙසේ ප්‍රකාශ කර තිබිණි. “එක තත්පරයකටවත් මම විශ්වාස කළේ නැහැ, ඒ පොත් අතර තියෙන හොඳම පොත මගේ පොත කියලා. විශේෂයෙන්ම අපේ කාලයේ අතිවිශිෂ්ටයකු වූ වී.එස්. නායිපෝල්ගේ ‘වුල්ෆ් හෝල්’ (Wolf Hall) කෘතියත් සමඟ මගේ කෘතිය එක ළඟ තියලා තියෙද්දි මට තැනක් ලැබෙයි කියන විශ්වාසය මට තිබුණෙම නැහැ. අනෙක, මම සැක කරනවා සහ වෙන කාටත් වඩා දන්නවා මගේ The English Patient කතාවේ තවමත් නොපැහැදිලි තැන් තියෙනවා කියලා; ඒ වගේම වැරදි සහගත පියවරයන් තියෙනවා කියලා.”

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment