ශ‍්‍රීමත් බ‍්‍රෑන්සන් රැගත් රොකට් ගුවන් යානය අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණෙයි

219

 එංගලන්ත ජාතික ප‍්‍රකෝටිපතියෙකු වන ශ‍්‍රීමත් රිචඞ් බ‍්‍රෑන්සන් සිය අභ්‍යවකාශ සමාගම විසින් නිපදවූ අභ්‍යවකාශ යානයකින් තවත් පස් දෙනකු සමග පෙරේදා (11දා ) දිනයේ ආරම්භ කළ අභ්‍යවකාශ  ගමන සාර්ථක ලෙස නිම කර නැවත පෘථිවියට පැමිණ තිබේ. ශ‍්‍රීමත් බ‍්‍රෑන්සන්ට අයත් වර්ජින් ගැලක්ටීක් හෝල්ඩින්ග්ස් සමාගම විසින් තැනූ ‘‘වර්ජින් ගැලක්ටික් – ස්පේස්යුනිටි” රොකට් ගුවන් යානය පෙරේදා උදෑසන ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශයට පිටත්ව ගිය අතර ඒ සඳහා බ‍්‍රෑන්සන් සමග ගුවන් නියමුවන් දෙදෙනකු හා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් තිදෙනකු සහභාගි වී තිබේ.
 
 මෙම අභ්‍යවකාශ ගමන සාර්ථක ලෙස නිම කළ බ‍්‍රෑන්සන් ඇතුළු පිරිස නිරුපද්‍රිතව නැවත පෘථිවියට පැමිණ තිබේ. ජීවිතයේ කලාතුරකින් උදා වූ මෙම  ගමන සාර්ථක වීම හේතුවෙන් ඉදිරියේදී වාණිජ මට්ටමින් මහජනතාව සිය යානා හරහා අභ්‍යවකාශයට ගෙන යෑමට කටයුතු කරන බව ශ‍්‍රීමත් බ‍්‍රෑන්සන් පවසයි. මෙම අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය සම්භවයක් සහිත සිරිෂා බෑන්ඞ්ලා ද සහභාගි වීම හේතුවෙන් ඇතැම් ඉන්දීය දේශපාලකයන් හා ඇය උපත ලැබූ අන්ද්‍රා ප‍්‍රදේශ් හි වැසියන් ඇයට සුබ පතමින් සමාජ මාධ්‍ය ජාල වෙත පණිවිඩ නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment