බෞද්ධ පුනරුදයේ ප‍්‍රතිභාසම්පන්න පුරෝගාමියා…. ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 125 වන ජන්ම දිනය නිමිත්තෙනි…

680

ශ‍්‍රද්ධා සම්පන්න සිංහල බෞද්ධ මහා දානපතියන්, පඬිවරුන් හා දේශමාමකත්වයෙන් යුත් ප‍්‍රභූවරුන් නිසා එදා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට සිදු වූ සේවාව මෙතෙකැයි කියා නිම කළ නොහැක. අද ද එබඳු උතුමන් විරල නැත. ඒ අතුරින් ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු මෙන්ම විශිෂ්ට සමාජ සේවකයකු වූ ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 125 වන ජන්ම දිනය අදට යෙදී ඇත. බෞද්ධ පුනරුදය සඳහා එතුමා සිදු කළ සුවිශාල සේවාව මෙවන් කුඩා ලිපියකින් හුවා දැක්වීම අපහසු වුවත් වත්මන් පරපුරේ දැනුවත් භාවය සඳහා කෙටියෙන් හෝ ලියා පළ කිරීම මෙම ලිපියේ අදහසයි. වර්ෂ 1896 ඔක්තෝබර් 26 වැනි දින බලපිටියේ බෞද්ධ ප‍්‍රභූ පවුලක උපත ලද මෙම කුමරා අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඞ් හා කොළඹ රාජකීය යන උසස් විදුහල් තුළිනි. කොළඹ රාජකීය විදුහලේ ද්විතීයික අධ්‍යාපනය ලැබීමෙන් පසු කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥයකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව සිය නීති වෘත්තිය සඳහා තෝරා ගන්නේ කළුතර දිසා අධිකරණයයි. අධිකරණයේ තම සේවාවෙන් පසු දිනපතා සවස ඒ ආසන්නයේ දුම්රිය මාර්ගය අබියස ඇති බෝධීන් වහන්සේට තෙල් මල් පුදා බුදුන් වැඳ ආශීර්වාද ලබා ගැනීම සිරිතක් කරගත් මෙතුමා මෙම ස්ථානය පිළිබඳව මහත් භක්තියෙන් හා ගෞරවයෙන් කටයුතු කළේය.

ඉන්පසු තම හිතවත් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන 1951දී කළුතර බෝධි භාරකාර මණ්ඩලය ආරම්භ කළේය. එම ස්ථානය මෙන්ම ඒ ඉදිරිපිට ඇති කඳුගැටයේ චෛත්‍යයක් ද ආරම්භ කොට ගාලූ පාරේ යන එන බෞද්ධ අබෞද්ධ සියලූ දෙනාගේම පහන් සිත් ජනිත කරවන අලංකාර පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට තම ධනය මෙන්ම ශ‍්‍රමය ද වැය කළ අතර අද මෙම ස්ථානය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පුද සැලකිලි ලබන උතුම් දර්ශනීය ස්ථානයක් බවට පත් වී තිබීම අපගේ ද අමන්දානන්දයට හේතුවකි. කළුතර ප‍්‍රදේශයේ සියලූ බෞද්ධාගමික ස්ථානවල සුබ සිද්ධිය සඳහා සුවිශාල සේවාවක් සිදු කළ එතුමා විශේෂයෙන්ම අලූත්ගම කන්දෙ විහාරය, මොරගල්ල ආරණ්‍ය සේනාසනය, පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙන සහ කොළඹ බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටියේ ගංගාරාමය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය ආදී විහාරස්ථානයන්හි දියුණුව සඳහා අපමණ වෙහෙසක් ගත් අතර ඉමහත් පරිත්‍යාගද පිරිනැමුවේය. කතරගම කිරිවෙහෙර සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස පත් වූ මෙතුමා මහත් භාරධූර කාර්යයකට අත තැබුවේය. එනම් බුදුරදුන් මොහොතක් සමවත් සුවයෙන් වැඩ සිටි පූජනීය කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ප‍්‍රතිසංස්කරණය කිරීම හා කතරගම පූජා භූමියට අවශ්‍ය මහාමාර්ග හා විශ‍්‍රාම ශාලාව ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමය. ඉතාමත් ඉක්මනින් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ප‍්‍රතිසංස්කරණය කොට 1970 පෙබරවාරි 26 වන දින එවකට ගරු අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ ගරු ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ සුරතින් එය විවෘත කරන ලදී. මේ කටයුතු සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ද නොමදව ලබා ගැනීමට මෙතුමා සමත් විය.

මෙතුමාගේ අනගි ශාසනික සේවාවන් පිළිබඳව අවබෝධ කරගත් බෞද්ධ ප‍්‍රභූවරු ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති ලෙස ඒකච්ඡන්දයෙන් පත් කරගත් අතර, ඒ තුළින් ශ‍්‍රී ලංකාව පුරා වෙසෙන බෞද්ධයන්ගේ, බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුවිශාල කාර්යයන් ගණනාවක් කරනු ලැබීය. අද තිබෙන කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල මෙතුමාගේ පුරෝගාමීත්වයෙන් ඉදි කළ එකකි. එම ගොඩනැගිල්ල මඟින් ලැබෙන ආදායමෙන් වැඩි ප‍්‍රමාණයක් යොදවනු ලබන්නේ තරුණ බෞද්ධ සංගමය මඟින් සිදු කරන සේවාවන් වෙනුවෙනි. ශ‍්‍රී ලංකා මහාබෝධි සමාගමේ ගරු සභාපති ලෙසත් මෙතුමෝ ඉමහත් සේවාවන් සිදු කළහ. කළුතර නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කරද්දී ගරු අග‍්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මැතිතුමා සමීපව ඇසුරු කළ සොයිසා මැතිතුමා වසර 12ක් පමණ රජයේ සෙනට් සභාවේ සභාපතිවරයා ලෙස සමස්ත ශ‍්‍රී ලංකාව පුරාම සිදු කළ ශාසනික, ජාතික හා සමාජ සේවා කටයුතු පුළුල් ලෙස සිදු කිරීමට පියවර ගත්තේය.

ඒ අතුරින් මගේ මතකයට නැගෙන්නේ අපගේ ගුරුදේවයන් වහන්සේ විසින් ප‍්‍රකාශ කළ කලපලූවාව ගෝතම තපෝවනයේ ආරම්භය හා ඉතිහාසය පිළිබඳව පැහැදිලි කිරීමේ දී එළි වූ විශේෂ කරුණක් පිළිබඳවය. ශ‍්‍රී ගෝතම තපෝවනය ආරම්භ කිරිමෙහිලා මුල් වූයේ ශ‍්‍රීමත් ඒ.ඊ. ද සිල්වා මැතිතුමා හා එම ආර්යාව ය. මේ පවුල ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ සමීපතමයන්ය. ඒ අයගේ ආරාධනාව මත සෙනට් සභාවේ සභාපති ලෙස ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගෝතම තපෝවනයට පැමිණියේ ය. ඔහුගේ නෙත එක්වරම යොමුවූයේ ගෝතම තපෝවනයේ භික්ෂූන් වහන්සේලා භූමිතෙල් ලාම්පු එළියෙන් තම පාඩම් කටයුතු හා වෙනත් ආගමික කටයුතු සිදු කරන අයුරුය. මේ පිළිබඳව තම සිතට නැගුණේ අනුකම්පාවකි. ඊට පසුදිනම රජයේ බලධාරීන් ලවා සෑහෙන ඈතක සිට විදුලි රැුහැන් ඇද විදුලි ආලෝකය තපෝවනයට ලබාදීමට කටයුතු කළේය.

ඒ අවට කලපලූවාවේ සියලූ පවුල් වලට විදුලි ආලෝකය ලැබුණේ ඉන්පසුවය. මේ එක් සේවාවක් පමණි. ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා බෞද්ධ පුනර්ජීවනය උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කළ ශේෂ්ඨ පුරුෂයෙකි, මහා දානපතියෙකි, එපමණක් නොව දක්ෂ මෙන්ම දැහැමි ව්‍යාපාරිකයෙකි. පළමුව ‘ස්වර්ණපාලි’ නමින් බස් රථයක් මගී ප‍්‍රවාහනය සඳහා යෙදවූ අතර පසුව සවුත් වෙස්ටන් බස් රථ සමාගම ආරම්භ කළ අතර එය ලක්දිව විශාල මෙන්ම ප‍්‍රධාන පෞද්ගලික බස් රථ සමාගම විය. 1956 දී රජය මගින් බස් ජනසතු කරන ලද අතර එතුමා ඉතා සතුටින් එම බස් රථ සියල්ල රජයට ලබා දුන්නේ හිස්ව නොව සියලූ බස් රථවල ඉන්ධන ටැංකි පුරවාය. එමෙන්ම පළමු වරට බලපිටියේ පේෂ කර්මාන්ත ව්‍යාපෘතිය ආරම්භ කොට සිය ගණනකට රැකියා අවස්ථා ලබා දුනි. අතින් වියන ලද බලපිටියේ සරම්, තුවා, ඇතිරිලි එකල ඉතා ජනප‍්‍රියත්වයට පත් වී තිබුණි. පසු කලෙක පේෂකර්ම දෙපාර්තමේන්තුව හා ඒ වෙනුවෙන්ම වෙන්වූ පේෂ කර්මාන්ත අමාත්‍යාංශය ඇති වූයේ මෙතුමාගේ ආරම්භක ව්‍යාපාරය නිසාවෙනි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ටයර් කර්මාන්තයේ පුරෝගාමී වූයේද මෙතුමාණන් ය.

ශ‍්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ දෙපක්ෂයේම ගෞරව බහුමානයට පත් වූ මෙම ශ්‍රේෂ්ඨ මානව හිතවාදී මිනිසාට ගරු කිරීමක් වශයෙන් නයිට් පදවියක් හිමිවූ අතර ශ‍්‍රීමත් නමින් හඳුන්වනු යේ එම ගෞරව නාමය යි. ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ සොහොයුරු වී.ටී.ද සොයිසා මැතිතුමා ද තම සොහොයුරා සමග උරෙනුර ගැටී මෙම සේවාවන් සඳහා දායක වීම කැපී පෙනෙන සංසිද්ධියකි. මෙම දෙදෙනාගේ ම අභාවයෙන් පසු එම අනගි සේවාවන් තම ලොකු තාත්තා හා පියාණන් වෙනුවෙන් පැවරුණේ දේශමාන්‍ය අජිත ද සොයිසා සහ දේශබන්දු තිලක් ද සොයිසා යන දෙසොහොයුරන්ට ය. ඒ සඳහා අනලස්ව උක්ත ශාසනික, ජාතික හා සමාජ සේවාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා ලොකු තාත්තාට හා වී.ටී. ද සොයිසා පියාණන්ට දක්වන උපරිම ගෞරවය සේ සලකා එම සේවාවන්හි සංරක්ෂණය හා පෝෂණය තව තවත් වැඩි දියුණු කරමින් පවත්වාගෙන යනු දැකීම මහා සංඝරත්නය ලෙස අපට ඉමහත් සතුටට කරුණකි.කළුතර බෝධි පරිශ‍්‍රය ඉතා දර්ශනීය ලෙසත් යනෙන දකින සැදැහැවතුන්ගේ සිත් සතන් සැදැහෙන් පිනා යන සේ නිර්මාණය කර තිබීම පුදුම සහගතය. එම පුණ්‍ය භූමිය තුළ ධර්මශාලා, වටදාගෙය සහිත බෝධි, අංගසම්පූර්ණ ලැගුම් ගෙයක් හා යටිතල පහසුකම් ද සම්පූර්ණ වූවා පමණක් නොව කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් සිදු කෙරෙන දන්නා වූ සේවාවන් ප‍්‍රමාණාතික‍්‍රාන්තය.

සෑම සෙනසුරාදා හා පොහෝ දිනවල ධර්ම දේශනා, ශීල භාවනා වැඩසටහන් මෙන්ම එයට සහභාගී වන උපාසක උපාසිකාවන්ට දන්පැන් පිළිගැන්වීම ද සුවිශේෂීය. ඒ අතර ප‍්‍රදේශයේ විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධන කටයුතු, දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු, ප‍්‍රාචීන අධ්‍යාපනය ලබන දිවයිනේ තරුණ භික්ෂූන් වහන්සේලාට සහ දහම් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම, කළුතර දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන සියයකට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ගිරිභාණ්ඩ ප‍්‍රදානය කිරීම, පසුගිය මෑත කාලයේ දී සිදු කරන ලද නිතර පින් වැඩෙන පින්කම් ය.ඊට අමතරව කළුතර නාගොඩ රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදි කිරීමට සම්මාදම් වීම, වැඩිහිටි නිවාස දෙකක් සාදා පවත්වාගෙන යාම, මෙහෙණි ආරාමයක් පවත්වාගෙන යාම, තම සොයිසා පරපුරට අයත් බලපිටියේ පාරම්පරික ඉඩමේ පසුගිය සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ පවුල් හැත්තෑවක් සඳහා නිවාස 51ක් සාදවා පිරිනැමීම, පරලොව සැපත් ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා, වී. ටී. ද සොයිසා මැතිතුමන් ලා ගෙන ගිය සුවිශාල සේවාවන්ට කෘතගුණ සැලකීම් වස් සිදු කරන ලද අනුස්මරධෑය සේවාවන්ගෙන් අතලොස්සකි.

ඊටත් වඩා ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායට මූලස්ථානයක් හෝ කාර්යාලයක් හෝ නොමැති අවස්ථාවක රජයෙන් ලැබුන කොළඹ වැල්ලවත්තේ භූමිභාගයෙහි රුපියල් කෝටි 6 කට නොඅඩු වියදමින් දේශමාන්‍ය අජිත ද සොයිසා මැතිතුමා ශ‍්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව වෙනුවෙන් තම පෞද්ගලික ධනය යොදවා ඉදි කොට පූජා කරන ලද ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභා කාර්යාලය ශ‍්‍රී ලංකා අමරපුර වංශයට ම කරන ලද උතුම්ම සේවාවකි. මෙම ගොඩනැගිල්ල ‘ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරය‘ නමින් නම් කළේ ද එතුමාට උපහාර පිණිස ය. එපමණක් නොව 2020 අගෝස්තු 16 වන දින සිට මේ දක්වා එම සංඝ සභා ගොඩනැගිල්ලේ ආරක්ෂාව හා පරිපාලන කටයුතු සඳහා වගකීම ද අජිත ද සොයිසා මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කර ගෙන යනු ලබන අතර ඒ සඳහා භාරයක් ද ස්ථාපිත කොට ඇත. මේ අනුව සොයිසා පරපුරේ ශ‍්‍රී නාමය අනාගත වංශයට ද මහත්, සුවිශාල හා විශේෂිත වන අතර මෙම කටයුතු තෙවන පරම්පරාව මගින් ද අඛණ්ඩව නොපිරිහෙලා ඉටු කරගෙන යාම සඳහා අශාන් ද සොයිසා පුත් රුවනට වගකීම් පැවරෙන සේ හුරුපුරුදු කිරීමද අනලස්ව සිදුවන පරමාදර්ශී ක‍්‍රියාවක් සේ අපි දකිමු. අද දින සිය 125 වන ජන්ම දිනය සමරන දිවංගත ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාණන් මේ සියලූ කටයුතු දෙස දිවැස් හෙලා බලමින් ආශිර්වාද කරන බව අපගේ විශ්වාසයයි. ශ‍්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාට අජරාමර උතුම් නිවන් සම්පත් ලැබේවායි පතමි.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක,
කල්‍යාණවංශ, කීර්ති ශ‍්‍රී වංගීසවංසාලංකාර, විපස්සනා කම්මට්ඨානාචාර්ය,
මහා මහෝපාධ්‍ය, අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය දොඩම්පහල සිරි චන්ද්‍රසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

 

advertistmentadvertistment
advertistmentadvertistment