ශ‍්‍රී ලංකාවට 2022 දීත් මූලික වටයේ තරග වදින්න වෙයි

729

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එහි 9 වෙනි ස්ථානයේ ශ්‍රේණිගතව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේද මූලික වටයට ක‍්‍රීඩා කිරීමට සිදු වී ඇත.

වත්මන් ලෝක ශූරයන් මෙන්ම, දෙවතාවක් පන්දුවාර විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත් එකම කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටද ලබන වසරේදී මූලික වටය ජය ගෙන සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට සිදු වී තිබේ.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටය යටතේ සහභාගි වූ සියලූ තරග පරාජයට පත් වූ බංග්ලාදේශ කණ්ඩායමත් තරග දෙකක් පමණක් ජය ගත් ඇෆ්ගනිස්තානයද සුපිරි 12 වටයට කෙළින්ම සුදුසුකම් ලබා ඇත.

ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටය යටතේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිව ජය ගත්තද පිළිවෙළින් ඔස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය හමුවේ පරාජයට පත් විය. ඒ වනවිට ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ රැුඳී සිටි එංගලන්ත කණ්ඩායමට එරෙහි තරගය හෝ ජය ගත්තේ නම් ශ‍්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වල 8 වෙනි ස්ථානයට හිමිකම් කියමින් කෙළින්ම සුපිරි 12 වටයට යෑමට අවස්ථාව තිබුණි.

2022 වසරේ පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ඉදිරි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමේ අවසන් දිනය ලබන 15 වැනිදා වන අතර එම තරගාවලිය සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන පළමු කණ්ඩායම් දෙක ලෙස තෝරා ගැනීමට නියමිතව තිබෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් වේ. එමෙන්ම සත්කාරක රටට අයත් කණ්ඩායමද කෙළින්ම සුදුසුකම් වටයේ තරගකරුවෙක් වේ. ඒ අනුව 2021 නොවැම්බර් 15 දිනය වනවිට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින සෙසු කණ්ඩායම් 6 අතර සත්කාරක ඔස්ටේ‍්‍රලියාවද සිටින බැවින් එළඹෙන තරගාවලියේ සුපිරි වටයට කෙළින්ම සුදුසුකම් ලබන කණ්ඩායම් 8 වන්නේ එංගලන්තය, පකිස්තානය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය වේ.

ශ‍්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද මෙවර මූලික වටයේ තරග වැදී සුපිරි වටයට පිවිසි අතර බංග්ලාදේශය සුපිරි වටය යටතේ සියලූ තරග පරාද වුවද ඔවුන් මෙම තරගාවලියට ඉහතදී ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තරගාවලි දෙකක් ජයග‍්‍රහණය කර ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ තිබූ නිසා ඔවුන්ට කෙළින්ම සුපිරි 12 වටයට පිවිසීමට අවස්ථාව උදා වී ඇත.

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ස්කොට්ලන්තය සහ නැමීබියාවත් ලබන වසරේ පැවැත්වෙන මූලික තරග වටය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් 8න් 4ක් වේ. මූලික වටය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම් 4 තෝරා ගැනෙන්නේ කලාපීය වශයෙන් සහ ශ්‍රේණිගත කිරීම්වල ඊළඟට ස්ථානගත වී ඇති කණ්ඩායම් අතර පවත්වන තරගාවලියකිනි. එම තරගාවලියේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 4 මූලික වටයට පිවිසීමට සුදුසුකම් ලබයි.

කුෂාන් සුබසිංහ සාජා නුවර සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment