ශ‍්‍රී ලංකාවේ තුන්වැනි උසින් වැඩිම කන්ද තොටුපළ කන්ද නෙමෙයි – ශමින්ද රන්ශාන් ප‍්‍රනාන්දු කියයි

289

ශ‍්‍රී ලංකාවේ තුන්වැනි උසින් වැඩිම කන්ද තොටුපළ කන්ද නොව, පිදුරුතලාගල රක්ෂිතයේම පිහිටි ටොප් පාස් කන්ද (Top Pass Hill) බවට තමන් විසින් අධ්‍යයනය කර තහවුරු කරන ලද බව ශ‍්‍රී ලංකාවේ ඉතා ප‍්‍රකට කඳු නගින්නෙක් හා ක‍්‍රියාදාම චාරිකා පිළිබඳ ප‍්‍රවීණයකු වන ශමින්ද රන්ශාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ මහතා විසින් මේ බව තහවුරු කරනු ලබන්නේ ඉකුත්දා ටොප් පාස් හිල් කන්ද තරණය කිරීමෙන් අනතුරුව කඳු මුදුනේදී ලබාගත් උස පිළිබඳ ඛණ්ඩාංක දත්ත විශ්ලේෂණය කරමිනි.

ඒ අනුව ටොප් පාස් හිල් කන්ද තොටුපොළ කන්දට වඩා මීටර් 20 ක් උසින් වැඩි බව තහවුරු කරනු ලැබ ඇත.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පිදුරුතලාගල කඳු ශ්‍රේණියේම පිහිටි තොටුපොළ කන්ද මීටර් 2,357 ක් උසින් යුක්ත බවට රජයේ මිනින්දෝරු සිතියම්වල දක්වා ඇති නමුත්, ටොප් පාස් හිල් කන්දේ උස මීටර් 2,378 ක් (අඩි 7,801.83* බව ශමින්ද රන්ෂාන් මහතා සඳහන් කරයි.

මෙම උස නීර්ණය කිරීම සඳහා තමන් උන්නතාංශ මැනීම සඳහා භාවිත කරන අල්ටිටියුට් මෙෂර්මන්ට් මෘදුකාංගයක් භාවිතයට ගන්නා ලද බවත්, ටොපොග‍්‍රෆික් සිතියම් හා අනුසාරයෙන් අවසන් නිගමනය ලබාගත් බවත් පවසයි.

මීට පෙර 2018 වසරේදී, ඌව පළාතේ උසම කන්ද ලෙස එතෙක් සැලකූ නමුණුකුල කන්ද එහි දෙවෙනි උසම කන්ද වන බවටත්, වැඩිම උසින් යුතු කන්ද වන්නේ උඩවේරිය කන්ද බවටත් තහවුරු කරන ලද්දේ ද රන්ශාන් ප‍්‍රනාන්දු මහතා විසිනි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාදාම චාරිකා පිළිබඳව ග‍්‍රන්ථ දෙකක් ලියා ඇති ඒ මහතා පුවත්පත් ලේඛකයෙක් ද වෙයි.

ජගත් කණහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment