ශ‍්‍රී ලංකාව ඉන්දියාවට කරට කර සටනක් දෙයි – දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලිය

651

ඩක්සන් පස්ලස්

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි සුප‍්‍රසිද්ධ ජාතික ක‍්‍රීඩාංගනයේ දී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියේ 05 වැනි තරගය ඊයේ (07) පැවති අතර එහිදී ප‍්‍රතිවාදී ඉන්දියාවට එරෙහිව ධෛර්යවන්ත ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් 00 – 00 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රසාද ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කර ගනිමින් එක් ලකුණකට හිමිකම් කියන්නට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට හැකි විය.

ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් මනා පන්දු පාලනයක නිරත වූ ඩක්සන් පස්ලස් මෙම තරඟයේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

සාෆ් පාපන්දු ඉතිහාසය තුළ 07 වතාවක් ශූරතාවට හිමිකම් කියන ඉන්දියාවට එරෙහිව මනරම් තරගයක නිරත වෙමින් අපරාජිතව තරග බිමෙන් පිටතට පිවිසීමට ශ‍්‍රී ලංකා පිලට ඊයේ (07) හැකිවූ අතර එය මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ලෙස ද හඳුන්වා දිය හැකිය.

දකුණු ආසියාවේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක සුනිල් චෙට්ටි‍්‍රගේ නායකත්වයෙන් සැදුම්ලත් ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව දැල රකින ක‍්‍රීඩක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් සමන්විත වූ ශ‍්‍රී ලංකා පිල තරගය ඇරඹී පළමු භාගය තුළ ප‍්‍රදර්ශනය කළ සටන්කාමී දක්ෂතාව ඉහළ අගයක් ගත්තේය.

ක‍්‍රීඩාගාරයේදී මෙන්ම පූර්ව සූදානමේදී ද ප‍්‍රතිවාදී ඉන්දීය කඳවුරට එරෙහිව සංවිධානය වී සිටි බවක් එමගින් දිස්විය.

සුජාන් පෙරේරා, හර්ෂ ප‍්‍රනාන්දු, ඩක්සන් පස්ලස්, චරිත බණ්ඩාර රත්නායක, කවිදු ඉෂාන්, ආසීකූර් රහුමාන්, ඩිලන් සෙනන් ද සිල්වා, චලන චමීර, අහමඞ් වසීම් රාසික්, මර්වින් හැමිල්ටන් සහ ජූඞ් සුපන් ආරම්භක ක‍්‍රීඩකයින් ලෙස ඉන්දියාවට එරෙහිව තරග බිමට අවතීර්ණ වූහ.

ඉකුත් තරග ද්විත්වයට වඩා අන්‍යොන්‍ය සම්බන්ධතාවයකින් යුතුව මෙම ක‍්‍රීඩකයින් පන්දු පාලනයක නිරත වන ආකාරයද එහි ගැබ් වී තිබුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස පළමු මිනිත්තු 15 ද දෙවන මිනිත්තු 15 ද තෙවන මිනිත්තු 15 ද ලෙස ප‍්‍රථම භාගය සංවිධානය කර ගනිමින් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම තරගයට අවතීර්ණ වී සිටීම කැපී පෙනුණි.

එහි අග‍්‍ර ඵලය නෙළා ගනිමින් පළමු මිනිත්තු 45 තුළ ප‍්‍රතිවාදී ඉන්දීයානුවන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදීමට වග බලා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමිත්වය ප‍්‍රදර්ශනය කළ එක් අවස්ථාවක් ලෙසද ඊයේ (07) තරගයේ ප‍්‍රථම භාගය සටහන් කළ හැකිය.

ඒ අනුව යමින් දෙවන භාගයට අවතීර්ණ වූ ශ‍්‍රී ලංකාව ආරම්භක භාගයේදී මෙන්ම සිව්වන මිනිත්තු 15 ද පස් වන මිනිත්තු 15 ද සය වන මිනිත්තු 15 ද සංවිධානාත්මක ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ප‍්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදීමට වග බලා ගැනීම කැපී පෙනුණි.

ඒ අනුව තරඟයේ අවසන් ප‍්‍රතිඵලය ගෝල් 00 – 00 ක් ලෙස සටහන් විය.

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 02 ක් බවට පත් විය.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් ඉන්දියාව මුහුණ දුන් පළමු තරගය ද ජය පරාජයෙන් තොරව කෙළවර විය. ඒ බංග්ලාදේශය සමගිනි.

පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස ද දෙවන තරගයේදී නේපාලය හමුවේ ගෝල් 03 – 02 ක් ලෙස ද පරාජයේ අමිහිර අත් විඳින්නට වූ ශ‍්‍රී ලංකා පිල ඊයේ තරගයේදී මානසික ඒකාග‍්‍රතාවය රඳවා ගනිමින් ශාරීරික යෝග්‍යතාවය මැනවින් ක‍්‍රියාත්මක කිරීම කැපී පෙනුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment