ශ‍්‍රී ලංකාව තරගාවලිය 2 – 0 ලෙස පරදියි

157

අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 25 ක් පමණක් රැස් කිරීමේ වරදට දඬුවම් ලෙස ශ‍්‍රී ලංකාවට ඊයේ (12 වැනිදා) දකුණු අප‍්‍රිකාව සමඟ පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලූ 8 ක පරාජයක් අත්විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 103 සීමාව පන්දුවාර 14.1ක් තුළ හඹා ගිය සංචාරකයෝ එහිදී දෙවැනි තරගය පමණක් නොව තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජයග‍්‍රහණයද අත්කර ගත්හ.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ රාත‍්‍රී 7.00 ට පමණ ආරම්භ වූ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුවද එය තරගයේ ප‍්‍රතිඵලයට හෝ නියමිත පන්දුවාර සංඛ්‍යාව අඩුකිරීමට හේතුවක් නොවිණි.

කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක දසුන් ශානක ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළද කාසියේ වාසියේ ජයග‍්‍රහණය තරගයේ ජයග‍්‍රහණයට සාධකයක් කර ගන්නට සත්කාරක කණ්ඩායම අපොහොසත් විණි.

ජයග‍්‍රහණය හඹා ගිය දකුණු අප‍්‍රිකා කණ්ඩායම වෙනුවෙන් කුවින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 57ක් නොදැවී ලබාගත් අතර රීසා හෙන්ඩි‍්‍රක්ස් ලකුණු 18 කට දැවී ගියේය. වනිඳු හසරංග විසින් හෙන්ඩි‍්‍රක්ස් දවා ගන්නා විට දකුණු අපි‍්‍රකාව ජයග‍්‍රහණය සඳහා ලකුණු 41 ක් මෙපිටින් සිටියේය.

අනතුරුව ඩි කොක් සහ මාක්රම් දෙදෙනා එකතුව දකුණු අප‍්‍රිකාව ජයග‍්‍රහණය සදහා රැගෙන ගියහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 න් හරි අඩක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 75 ක් ලබාගෙන සිටි අතර 11 වැනි පන්දුවාරය කි‍්‍රයාත්මක කළ මාක‍්‍රම්ගේ පන්දුවකට එල්ල කළ ස්විප් පහර වැරදී යෑමෙන් කුසල් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

කගීසෝ රබාඩා හමුවේ හතරේ පහර 2 ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණු කුසල් දැවී යන විට පන්දු 24 ක් තුළ ලකුණු 30 රැුස්කර තිබුණි. ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ කණ්ඩායම සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් කරාගෙන යෑමට කුසල් උත්සාහ දැරුවත් ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 103 කට සීමාවිය.

පසුගිය තරග 3 ක් තුළ ලකුණු නොලබා දැවී ගොස් තිබූ භානුක රාජපක්‍ෂ මෙම තරගයේදී පන්දු 13 ක් තුළ වේගවත් ලකුණු 20 ක් රැුස් කළේ හතරේ පහරවල් 3 ක් සහ හයේ පහරක් පේ‍්‍රමදාස පිටියේදී වාර්තා කරමිනි. එහිදී

කාගිසේ රබාඩාට එරෙහිව පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කළ භානුක රාජපක්‍ෂ ඒඞ්න් මාක‍්‍රම්ට එරෙහිවද එක දිගට හතරේ පහර දෙකක් ලබාගත්තේය.

එහෙත් එම පන්දු වාරයේදීම භානුක ඉදිරියට පැන එල්ල කළ පහර පන්දු යැවූ මාක‍්‍රම් විසින්ම රැුකගනු ලැබීමෙන් භානුකගේ ඉනිම ලකුණු 20 කදී නිමාවුණේ ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව පළමු පන්දු ඕවර 5 තුළ ලකුණු 38 කට කඩුලූ 2 ක් දැවී යෑම සටහන් කරමිනි.

ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින ටබ්රේස් ෂම්සිගේ පන්දුවක් හරියාකාරව අවබෝධ කර නොගත් අත්දැකීම් බහුල ධනංජය ද සිල්වාට මෙම තරගයේදීද කණ්ඩායමට පිතිහරඹයෙන් වැඩි සේවයක් කිරීමට නොහැකිවිණි.

ශම්ෂි හමුවේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණි වරදට ධනංජය ලකුණු 4 කට දැවී ගිය අතර නායක දසුන් ශානක ශම්සිගේ දෙවැනි ගොදුර බවට පත්විය. ශම්සි හමුවේ යෝධ හයෝ පහරක් එල්ල කළ දසුන්ට අනතුරුව ශම්සිගෙන් ලැබුණු පන්දුව නතර වුණේ කඩුල්ලේ මැද ඉන්න සහ බෙල්ස් ඉවත් කරමිනි. ඉන් පසුව චාමික කරුණාරත්නද ශම්සිගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලූ 7 ක් දැවී ලකුණු 100 ක් ලෙස සටහන් විය.

පෙර තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කළ දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ නෝසේගේ පන්දුවක් හමුවේ එල්ල කළ පහරක් නායක කේශව් මහරාජ් විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙනි.

දකුණු අප‍්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශම්සි ලකුණු 20 කට කඩුලූ 3 ක් සහ ඒඞ්න් මාක‍්‍රම් ලකුණු 21 කට කඩුලූ 3 ක් දවා ගත්තේය. ෆෝටෙන් කඩුලූ 2 ක්ද, කේශව් මහරාජ් එක් කඩුල්ලක්ද දවා ගත්හ.

ශ‍්‍රී ලංකා ඉනිමේ දෙවැනි භාගයේදී එනම් 11 වැනි පන්දුවාරයේ සිට ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 28 ක් පමණක් වූ අතර අවසන් පන්දුවාර 9 තුළ කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා පිතිකරුවෝ අසමත් වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment