ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික ගණිකා නිවාසයක් ද?

405

උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර කොටසේ බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස හැඳින්වෙන සාගර ප‍්‍රදේශයක් පිහිටා ඇත. අද වනවිට මේ සාගර ප‍්‍රදේශය උඩින් කිසිදු ගුවන් යානයක් ගමන් ගන්නේ නැත. එයට හේතුව දෙවැනි ලෝක යුද සමයේ සිට කලක් ගතවන තුරු බර්මියුඩා ත‍්‍රිකෝණයට ඉහළින් ගමන් කළ ගුවන් යානාවලින් 10% ක් පමණ අතුරුදන් වීමය. විඥානවාදීන් කියන පරිදි මේ සාමුද්‍රික ප‍්‍රදේශය තුළ භූත බලවේග ක‍්‍රියාත්මක ය. භෞතිකවාදීන්ගේ මතය වන්නේ අධික ගුරුත්වාකර්ෂණයක් මෙහි පවතින බැවින් ගුවන් යානා සාගරය තුළට ඇද ගන්නා බවය. කෙසේ හෝ වේවා මෙහි අවසන් පලය වූයේ බර්මියුඩා ත‍්‍රිකෝණය මගහැර ගමන් කිරීමට ලෝකයේ සියලූම ගුවන් සමාගම් තීරණය කිරීමය. මේ කතුවැකිය ලියන මොහොතේ කිරින්දේ මහා රාවණ ප‍්‍රදීපාගාරයට නාවික සැතපුම් කිලෝමීටර් හාරසීයක් දුරින් අපේ සමුද්‍ර සීමාව තුළ නැවක් ගිනි ගැනීමට පටන් ගත්තේය. මෑත කාලයේදී අපේ මුහුදේ ගිනිගත් තුන්වන නැව මෙයයි.

මෙසේ ගිනිගත් පළමුවන නැව නිවා ගැනීමට යාන්තම් හැකිවිය. දෙවැනි නැව සම්පූර්ණයෙන්ම කරකුට්ටන් වී දෙකට කැඞී මීට අවුරුදු එකසිය ගණනකට පෙර ටයිටැනික් නැව ගිලා බැස්සාක් මෙන් ගිලා බැස්සේය. මෙය සැක කටයුතු තත්ත්වයකි. ලංකාවට එන නැව් සහ ලංකාවෙන් පිටව යන නැව්වලින් සමහරක් ගිනි තබාගෙන සිය දිවි නසාගැනීම සඳහා අපගේ සාගර ප‍්‍රදේශය තෝරාගෙන ඇති බව පෙනේ. නොඑසේ නම් මාස හයකට අඩු කාලයක් තුළදී නැව් තුනක් මේ ආකාරයෙන් ගිනි ගත්තේ මන්ද යන්න දුගී දුප්පත් පෘථග්ජනයා ගේ මතයයි. කොවිඞ් කාලයේදී ටෙලි නාට්‍ය, හින්දි චිත‍්‍රපටි සහ දෙමළ චිත‍්‍රපටි බලමින් රූපවාහිනිය ඉදිරියේ ස්වයං නිරෝධායනයක යෙදුනු ඒ දුප්පත් අහිංසක මිනිසුන්ට ඊට වැඩි දෙයක් සිතා ගැනීමට හුරුවක් නැත. කෙසේ හෝ වේවා වැලේ වැල් නැතිව සිටින දුප්පත් අසරණ පාඨකයිනි! අප අද කියන්නට යන්නේ වෙනස් කතාවකි. ඒ මෙසේය.
 
 රුපියල් කෝටි හැටදාහක් වියදම් කර සපුගස්කන්ද තැනීමට යෝජිත නව තෙල් පිරිපහදුවට අදාළ ටෙන්ඩරය ඉල්ලා ගැනීමට බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිතුමා ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල හමුවීමට යෑම පිළිබඳ පුවතක් මෙවර ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ පළ වී තිබේ. උදය ගම්මන්පිල ඇමැතිතුමා හෙළි නොකළාට ඇමරිකාව නියෝජනය කරන බ්‍රෝකර්ලා කිහිප දෙනෙක් මීට පෙර ද ඔහු හමුවීමට ගිය බවට ආරංචි තිබේ. ඇතැම් බ්‍රෝකර් කෙනෙක් උදය ගම්මන්පිලට කියා ඇත්තේ ටෙන්ඩරය පාස්කර දෙන්නේ නම් ටෙන්ඩර් මුදල වූ රුපියල් කෝටි හැටදාහෙන් 1% ක් හෙවත් රුපියල් කෝටි හයසීයක් ඔහුට ලබාගත හැකි බවලූ.

මේ බ්‍රෝකර්ලා ඇමැතිවරයකු හරහා පැමිණි බව ද කියනු ලැබේ. ඇමැති කෙනෙක් හරහා පැමිණි නිසා මිස නොඑසේ නම් බ්‍රෝකර්ව අල්ලස් දෙපාර්තමේන්තුවට අල්ලා දෙන බව ගම්මන්පිල කීවේලූ. මෙවැන්නක් සිදුවී දැයි ඇසූ විට උදය ගම්මන්පිල කෙළින්ම කියන්නේ ”අපොයි එහෙම දෙයක් උනේ නෑ” යනුවෙනි. අල්ලස් දීමට පැමිණි එකා පොලිසියට අල්ලා නොදීම වරදක් හෙයින් එයින් ගැලවීම සඳහා එවැනි කිසිවක් නොවූ බව ගම්මන්පිල සහෝදරයා කියනවාදැයි අපි නොදනිමු. කෙසේ හෝ වේවා මේ මොහොතේදී ඉන්දියාව, චීනය සහ ඇමරිකාව යන රටවල් තුනෙන් ලංකාවට ගැලවීමක් නැත. ‘‘මෝල් දුෂ්කරතාවලින්’’ පෙලෙන ගනුදෙනුකරුවන් ගණිකාවන් සොයමින් රෙඞ් ලයිට් ඒරියාවල දිවෙන්නාක් මෙන් පිට රටවල තානාපතිවරුමේ රටේ අමාත්‍යාංශවලට දිවෙමින්ද දේශපාලනඥයන් හමුවෙමින් ද සිටිති. මේ මළ යකුන්ගෙන් බේරීමක් ඇත්තේම නැත. ඉන්දියාව බලන්නේ ති‍්‍රකුණාමලේ තෙල් ටැංකි ගිලින්නටය. ඊට අමතරව නැගෙනහිර ජැටිය ඔවුන්ට නොදුන් නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් ඔවුහු වැළකී සිටියෝය. ජපානය සිටියේත් බටහිර ජැටිය අනුභව කිරීමේ කුස ගින්නෙනි. එය ඉටු නොවුණු බැවින් ඔවුන් කළේ ද අපට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීමය. චීනය හම්බන්තොට වරාය ගත්තේය. කොළඹ වරායෙන් කොටසක් ගොඩකර වාණිජ පුරයක් හදා ගත්තේය. ඇමරිකාව එම් සී සී ගිවිසුම හරහා ආර්ථික කොරිඩෝවක් රට තුළ හදා ඉඩම් අල්ලාගෙන නටන්නට ලෑස්ති විය.

එහෙත් දේශ හිතෛෂී බලවේග නිසා එය යට ගියේය. එහෙත් ඇමරිකාව ලේසියෙන් පසුබසින රටක් නොවේ. ඉන්දියාවට මේ වෙලාවේ අතේ සතේ නැත. ඇමරිකාවට ද සල්ලි නැති නමුදු ලෝක ආර්ථිකය තුළ මුදල් මැවීමේ අපූරු හැකියාව ඇත. එහි ප‍්‍රතිපලයක් වශයෙන් ඔවුන්ට සල්ලි ඇත. ත‍්‍රස්තවාදී යුද්ධය පැවැති කාලයේදී අපට නෝර්වේ රටින් බේරිල්ලක් තිබුණේම නැත. උතුරු නැගෙනහිර වෙරළේ තිබෙන විකිරණශීලී ඛනිජ ද්‍රව්‍ය ගැන දැන සිටි නෝර්වේකාරයෝ ප‍්‍රභාකරන් අල්ලාගෙන එම පස් තොගය සිය රටට අදින්නට කල්පනා කරගෙන සිටි බැවින් නිතරම තැත් කළේ යුද්ධය සමාදාන කර උතුරු නැගෙනහිර ඊළම සෑදීමට ය. මේ රටේ තිබෙන බටහිර තානාපති කාර්යාල හැම එකක්ම පාහේ ආණ්ඩුව ගැන ඔත්තු බලති. ඒ අනුව ආණ්ඩුව හෙට ගන්න කැබිනට් තීන්දුව ගැන ඊයේ සිටම ඔවුන් තුළ දැනුමක් පවතී. ආණ්ඩුව විසින් වර්ගවාදී යුද්ධය මැඬපැවැත්වීම සහ ප‍්‍රභාකරන් ඝාතනය කිරීම ගැන බටහිර රටවල් තුළ ඇති ශෝකය ප‍්‍රභාකරන්ගේ දෙමාපියන්ටවත් තිබුණු බවක් අපි විශ්වාස නොකරමු. තෙල් පිරිපහදු ටෙන්ඩරය ලබාගැනීම සඳහා ඇමරිකන් තානාපතිවරයා කටයුතු කළ ආකාරය ගැන ලෝකයේ මහා බලවතා ලෙස සැලකෙන ඇමරිකාවට ලජ්ජාවකි. වැරදුනා. දැන් මහා බලවතා චීනය නොවැ.

advertistmentadvertistment
advertistmentadvertistment