ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය – සාෆ් පාපන්දු සටනට අද මුල පුරයි

182

රටවල් පහක් අතරේ ක‍්‍රියාත්මක කෙරෙන 13 වැනි දක්ෂිණ ආසියාතික රටවල පාපන්දු ශූරතාවලිය හෙවත් සාෆ් පාපන්දු තරගාවලිය අද (01දා) දින ප.ව.

04.30 ට පැවැත්වෙන ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ආරම්භ කෙරේ.

තරගාවලිය 16 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි සුප‍්‍රසිද්ධ ජාතික ක‍්‍රීඩා සංකීර්ණ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 10 කට වඩා වැඩි ත්‍යාගයක් සහිතව මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිව සත්කාරක මාලදිවයින, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව සටන් වදිති. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වාරණයකට ලක්ව සිටින පකිස්තානය මෙම තරගාවලියට ඇතුළත් නොවන අතර ඇෆ්ගනිස්ථානය සහ භූතානය යන රටවල සහභාගීත්වයෙන් තොරව මෙවර තරගාවලිය ක‍්‍රියාත්මක කෙරේ. මෙම කණ්ඩායම් අතර ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මූලික වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා දෙපිල ලබන 16 දින ප.ව.08.30 ට පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගය සඳහා වරම් ලබනු ඇත.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය  - සාෆ් පාපන්දු සටනට අද මුල පුරයි
ශ‍්‍රී ලංකා කණ්ඩායම

ඒ අනුව ශ‍්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම මූලික වටය යටතේ තරග 04 කට සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලියට අයත් සමස්ත තරග සංඛ්‍යාව 11 කි. ඔක්තෝබර් මස 01 දින බංගලාදේශයට එරෙහිවද 04 දින නේපාලයට එරෙහිවද 07 දින ඉන්දියාවට එරෙහිව ද 10 දින මාලදිවයිනට එරෙහිවද තරග බිමට පිවිසීමට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම සූදානම්ව සිටී. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 205 ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමිවී ඇති අතර 107 වැනි ස්ථානය ඉන්දියාව ද 158 වැනි ස්ථානය මාලදිවයින ද 168 වැනි ස්ථානය නේපාලය ද 189 වැනි ස්ථානය බංග්ලාදේශය ද කලක් මාලදිවයිනේ වෘත්තිය ක‍්‍රීඩකයෙකු ලෙස තරග කළ සුජාන් පෙරේරා මෙවර තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයන අතර ඔහු මෙරට සිටින අංක එකේ පාපන්දු දැල රකින්නා ද වෙයි. ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා ද කළමනාකරු ලෙස අසීෆ් අන්සාර් මහතාද කටයුතු කරති. සෑම දිනකම ආරම්භක තරගය එරට වේලාවෙන් පස්වරු 04.30 ට ද දෙවන තරගය රාත‍්‍රී 09.30 ට ද පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම

ඩබ්ලිව්.එස්.ටී.ඞී. සුජාන් පෙරේරා (නායක), එච්.එම්. ප‍්‍රභාත් රුවන් අරුණසිරි, කවීෂ් ලක්ප‍්‍රිය , කේ. එන්. හර්ෂ ප‍්‍රනාන්දු, ඒ. ඒ. එස්. රොෂාන් අප්පුහාමි, චමෝද් ඩිල්ෂාන්, චරිත රත්නායක, ඩක්සන් පස්ලස්, මර්වින් හැමිල්ටන්, එම්. චලන චමීර , එස්. ජූඞ් සුපුන්, එම්. එම්. මොහොමඞ් මුස්තාක්, එන්.මොහොමඞ් පශාල්, එල්. එච්. කවිඳු ඉෂාන්, ඩිලන් සෙනන් ද සිල්වා, අහමඞ් වසීම් රාසික්, එම්. එෆ්. මොහොමඞ් ආකීබ් , එම්. ඒ. අසීකුර් රහුමාන්, එස්. සුපුන් ධනංජය, එම්. ජේ. රිෆ්කාන් මොහොමඞ්, මොහොමඞ් ෂිෆාන් , අමාන් ෆයිසර් සහ එඩිසන් ෆිගරාඩෝ.

මූලික වටයේ තරග සැළසුම

2021.10.01

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය

නේපාලය සහ මාලදිවයින

2021.10.04

බංග්ලාදේශය සහ ඉන්දියාව

ශ‍්‍රී ලංකාව සහ නේපාලය

2021.10.07

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව

මාලදිවයින සහ බංග්ලාදේශය

2021.10.10

මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව

ඉන්දියාව සහ නේපාලය

2021.10.13

බංග්ලාදේශය සහ නේපාලය

ඉන්දියාව සහ මාලදිවයින

2021.10.16

අවසාන මහා තරගය

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment