ශ‍්‍රී ලංකා කාන්තාවෝ මේස පන්දු ජයග‍්‍රහණ දෙකක් ලබති

154

ආසියානු මේස පන්දු සම්මේලනයේ මෙහෙය වීමෙන් කටාර් දේශයේ දී දැන් ක‍්‍රියාත්මක 25 වැනි ආසියානු ශූරතා මේස පන්දු තරගාවලියේ දෙවන ජයග‍්‍රහණය සටහන් කරගැනීමට ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ (29* දිනයේදී හැකිවිය.

ආරම්භක දිනය වූ පෙරේදා (28* බංග්ලාදේශයට එරෙහිව වට 03 – 00 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (29* දිනයේ දී තෙවන තරගයට අවතීර්ණ වෙමින් ජෝර්දානය තරග වට 03 – 00 ක් ලෙස පරාජයට පත් කරමින් තම දෙවන ජයග‍්‍රහණය සටහන් කර ගත්තේය.

ඔවුන් මුහුණ දුන් දෙවන තරගයේදී කසකස්ථානය හමුවේ වට 03-00 ක් ලෙස පරාජය ලැබීමට සිදු විය.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල 12 සහ 13 ස්ථානය වෙනුවෙන් තරඟ වැදීමට නියමිතව තිබුණි.

දින 08 කින් සැදුම්ලත් වන ආසියානු ශූරතා මේස පන්දු තරගාවලියේ පළමු දිනයේදී ප‍්‍රතිවාදී බංග්ලාදේශය පරාජයට පත් කරමින් ප‍්‍රථම ජයග‍්‍රහණය වාර්තා කර ගැනීමට ශ‍්‍රී ලංකා පිරිමි පිල සමත් වූ නමුත් දෙවන තරගයේදී තායිලන්තය හමුවේ වට 03 – 01ක් ලෙස ද තෙවන තරගයේදී කටාර් දේශය හමුවේ වට 03 – 01ක් ලෙස ද පරාජය ලැබීය.

පිරිමි අංශයේ පළමු ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු සෙනුර සිල්වා වට 03 -00 ක් ලෙස ද, මිලින්ද ලක්ෂිත තරග වට 03 – 01 ක් ලෙස ද සහ චමීර ගිනිගේ තරග වට 03 – 01 ක් ලෙස ද තමන් මුහුණ දුන් තරග ආශ‍්‍රිතව බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ පරාජය කළහ.

ඉෂාරා මධුරංගී තරග වට 03 – 00 ක් ලෙස ද බිමන්දී බණ්ඩාර තරග වට 03 – 01 ක් ලෙස ද මුතුමාලී ප‍්‍රියදර්ශනී තරග වට 03 – 01 ක් ලෙස ද ප‍්‍රතිවාදී බංග්ලාදේශ ක‍්‍රීඩිකාවන් පරාජය කිරීමට ආරම්භක තරගයේදී සමත් වීම කැපී පෙනුණි.

ශ‍්‍රී ලංකා පුහුණුකරු චතුර දුෂාන් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම් අනුව මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරග වදිති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment