ශ‍්‍රී ලංකා ජාතික සංවිධානය සමග සන්ධානගතව සියලූ මැතිවරණ සඳහා තරග කරනවා – නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක කුමාර වෙල්ගම

348

ශ‍්‍රී ලංකා ජාතික සංවිධානය සමග සන්ධානගත වී ඉදිරි සියලූ මැතිවරණ සඳහා තරග කිරීමට කටයුතු කරන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ඊයේ (10දා) ‘දිවයින’ට පැවසීය.

ජනාධිපතිවරණයේදී පොදු එකඟතාවයකින් යුත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද හෙතෙම කීවේය.

අශ්ව ලාඩම නව ලංකා නිදහස් පක්ෂයේ සලකුණ බවත්, නව ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තිලක් වරාගොඩ මහතාද, භාණ්ඩාගාරික ලෙස උපුලාංගණී මාලගමුව මහත්මිය ද කටයුතු කරන බව වෙල්ගම මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ තිබූ අභිමතාර්ථයන් සහ පරමාර්ථයන් තම නව පක්ෂය යටතේ නොවෙනස්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව සඳහන් කළ හෙතෙම සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම රටේ සමස්ත ජනතාවට ඒ වටා එකතු වෙන මෙන් ආරාධනාවක් ද කළේය.

බිඳවැටී ඇති ජනතා අපේක්ෂාවන් නැවත මල්ඵල ගැන්වීමට නම් පවතින දේශපාලන ක‍්‍රමයේ නව වෙනසක් ඇති කළ යුතු බවත් ඒ සඳහා හා සිය පක්ෂය අනිවාර්යෙන්ම සූදානම් බවත් හෙතෙම කීවේය.

එසේම තාරුණ්‍යය සඳහා සිය පක්ෂයෙහි වැඩි ඉඩකඩක් ලැබෙන බව කී කුමාර වෙල්ගම මහතා, සිය දේශපාලන අත්දැකීම් සහ පළපුරුද්ද නව පරපුර වෙත තිළිණ කිරීම ඒකායන බලාපොරොත්තුව බවත් වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment