ශ‍්‍රී ලංකා පොලිසියේ මානව සම්පත් කළමනාකරණය

1095

අපරාධ සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව බියෙන් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහිකිරීම” යන ශ‍්‍රී ලංකා පොලිසියේ දැක්ම ප‍්‍රබල ආකාරයට ජනතාව හා බැඳී තිබෙන අතර කාලීන සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස පොලිසියේ අරමුණු හා පරමාර්ථ පරිවර්තනයකට ලක්කර ගැනීම පොලිසිය විසින් රටේ මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමකි. 1866 වසරේ බි‍්‍රතාන්‍ය අවශ්‍යතාවන්ට අනුව ශ‍්‍රී ලංකා පොලිසිය විධිමත් ආයතනයක් ලෙස ආරම්භ කිරීමෙන් අනතුරුව අපරාධ ක‍්‍රියා නිවාරණය, නීතිය හා සාමය ආරක්ෂා කිරීම, නීතිය කඩ කරන අයවළුන් නීතියේ රැහැනට හසු කරගැනීම වැනි අරමුණු වර්තමානයේ ශ‍්‍රී ලංකා පොලිසියේ පවතියි. ලෝකයේ අනිකුත් පොලිස් සංවිධාන මෙන්ම ශ‍්‍රී ලංකා පොලිසිය ද මහජනතාව අතර සම්බන්ධය වැඩි කර ගැනීම සඳහා ප‍්‍රජා පොලිස් වැනි අරමුණු ස්ථාපිත කරගෙන තිබුණ ද එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට මෑතක සිදු වූ සමහරක් පුවත්වලින් පෙනී යනු ලැබේ. ශ‍්‍රී ලංකා පොලිසිය සම්බන්ධව විවිධ වූ ආකාරයේ පුවත් පළ වුවද මෑත කාලයේ සිදු වූ ආන්දෝලනාත්මක පුවතක් වුයේ අම්පාර පොලිස් කොට්ඨාසයේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ඇති වූ වෙඩි තැබීමය. පොලිසිය මහජනතාවට මිත‍්‍රශීලී වීමට පෙර සහෝදර පොලිස් නිලධාරීන්ට මිත‍්‍රශීලි වීම සිදුවිය යුත්තක් බව එයින් පණිවුඩයක් ද ලබා දෙයි. මෙම තත්ත්වයන් අනාගතයේදී ඇතිවීම වළක්වා ගැනීමට පොලිසියේ උසස් නිලධාරීන් විසින් ක‍්‍රියාමාර්ග, අභිපේ‍්‍රරණ වැඩසටහන්, නිසි පුහුණුව, ආකල්ප වැඩි දියුණු කිරීම වැනි දෑ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇත. මහජන සේවය සඳහා නව පොලිස් ස්ථාන විවෘත කර දැනට පොලිස් ස්ථාන 595 කට ආසන්න ගණනක් පැවතිය ද ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මට ළඟා වීමට නම් පොලිස් නිලදරුවා මනා ආකල්පවලින් ද සමන්විත විය යුතුව ඇත.

ඕනෑම සමාජයක් තුළ සංවිධාන පවත්වා ගෙන යනු ලබන්නේ මිනිසුන් සඳහාය. සංවිධානයක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමෙහිලා මානව සම්පත ඉවහල් වන බව නොරහසකි. විශේෂයෙන්ම 21 වන සියවසේ 3 වන දශකයට පා තබා ඇති මොහොතක මෙන්ම වෙනස්වන පරිසරය තුළ අභියෝග, අවස්ථාවලට මුහුණ දීමට සේවක කැපවීම අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුත්තකි.

ශ‍්‍රී ලංකා පොලිසියේ දැක්ම, මෙහෙවර, අරමුණු, පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා හා පොලිස් නිලධාරීන්ගේ තෘප්තිය, සංවර්ධනය යන ද්විත්වයම ඉටු කර ගැනීම සඳහා සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් කාර්යක්ෂමව හා සඵලදායී ලෙස උපයෝජනය කිරීම මානව සම්පත් කළමනාකරණයේදී ඉටු කරගැනීමට බලාපොරොත්තු වේ. ඇත්ත වශයෙන්ම පොලිසියේ දැක්ම යන්න පොලිස් පුහුණුවේදී ම සෑම පොලිස් නිලධාරියෙක්ගේ මනසට කාවැද්දිය යුතුව ඇත. අනාගතයේදී අත්පත් කර ගැනීමට යන තත්ත්වය දැක්ම මගින් විස්තර වන අතර සංවිධානයකට පැවතිය යුත්තේ එක දැක්මකි. දැක්මට අනුකූලව විවිධ වූ ඉලක්ක, පරමාර්ථ ඕනෑම සංවිධානයකට පවත්වා ගෙන යෑමට හැකි වේ. එහෙත් ශ‍්‍රී ලංකා පොලිසියේ මේ වන විට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය, අපරාධ කොට්ඨාසය, විභාග කොට්ඨාසය, මානව හිමිකම් කොට්ඨාසය, තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් සේවාස්ථ පුහුණු කොට්ඨාසය, සුභසාධන කොට්ඨාසය වැනි විවිධ වූ කොට්ඨාසයන් විවිධ වූ දැක්ම පාඨයන් ඔස්සේ තම කොට්ඨාසවල රාජකාරි කටයුතු කර ගෙන යයි. එය කළමනාකරණ මූලධර්මවලට පටහැනි වන අතර කලින් සඳහන් කළ අයුරින් ශ‍්‍රී ලංකා පොලිසියට පැවතිය යුත්තේ එක් පොදු දැක්මකි. ශ‍්‍රී ලංකා පොලිසිය භාරව කටයුතු කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික පොලිස් කොමිසම වැනි ආයතන මෙවැනි ප‍්‍රධාන කරුණු සම්බන්ධව අවධානය දැඩි කළ යුතු මෙන්ම සමාජයේ විවිධ ක්ෂේත‍්‍රයන් තුළ සිටින විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ මෙන්ම දැනුම, කුසලතා පොලිස් සේවය වෙනුවෙන් යොදා ගත යුතුව තිබේ.

පොලිස් නිලධාරියාගේ අභිපේ‍්‍රරණය ඉහළ නැංවීමේදී සහකම්පනය ඉතා වැදගත් සාධකයකි. සහෝදර පොලිස් නිලධාරියෙක්ගේ දුකක්, වේදනාවක් තමන්ගේ දුකක්, වේදනාවක් ලෙස සැලකීමට අනික් පොලිස් නිලධාරියා කාරුණික විය යුතුව ඇත. තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීම සිදු කරනු ලැබූ සැකකාර පොලිස් සැරයන්වරයාගේ මව පවසන ආකාරයට ඔහුට විවිධ පොලිස් නිලධාරීන්ගෙන් අකටයුතුකම් වී ඇත. එම නිසා පොලිස් පුහුණුවේදී කරුණාවෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව ආකල්ප වර්ධනය කළ යුතුව ඇත.

”ධම්මෝ හවේ රක්කති ධම්මචාරී” යන ධම්මපදය නිල ඇඳුමේ දරාගෙන රාජකාරි කරන පොලිස් නිලධාරියා අපරාධ නඩු විධාන සංග‍්‍රහය, දණ්ඩ නීති සංග‍්‍රහය මෙන්ම බුදුදහමේ ඉගැන්වෙන හේතු ඵල දහම ද අවබෝධ කරගෙන රාජකාරි කටයුතුවල නිරත කර වීම පොලිසිය භාර ආයතනවල වගකීමකි. අප මහා බුදුරජාණන් වහන්සේ පුද්ගල ජීවිත අහිමි කළ අංගුලිමාල වැනි පුද්ගලයන් යහමගට ගත්තේ මෛත‍්‍රියෙන් නිසා ශ‍්‍රී ලංකා පොලිසිය ද සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ඔවුන් නිසි ක‍්‍රමවේදය යටතේ අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇත. මෙවන් ආකල්ප දියුණු කිරීමකින් තොරව ප‍්‍රජා පොලිස් වැනි විශිෂ්ට සංකල්පවල ඵල නෙළා ගැනීම අපහසු කාර්යයක් වනවා ඇත. පොලිස් වෘත්තියේ ගුණාත්මක බව වර්ධනය කිරීමේදී බෞද්ධ ඉගැන්වීම් ද පොලිස් විෂය නිර්දේශයන්ට, පුහුණු පාඨමාලාවන්ට ඇතුළත් කිරීම කාලෝචිත ය.

ශ‍්‍රී ලංකා පොලිසියේ මෙහෙයුම් ක‍්‍රියාවලිය ප‍්‍රාදේශීය කොට්ඨාස හා ක‍්‍රියාකාරී කොට්ඨාස ලෙස ප‍්‍රධාන වර්ග දෙකකට බෙදා ඇත. පොලිස් සුබසාධනය, ප‍්‍රජා පොලිස් කොට්ඨාසය, විනය හා කල්ක‍්‍රියා කොට්ඨාසය ඇතුළු තවත් බොහෝ ක‍්‍රියාකාරී කොට්ඨාසයන් රැසක් ශ‍්‍රී ලංකා පොලිසියේ පැවතිය ද සෑම නිලධාරියෙක්ටම ලැබෙන්නේ පොදු ස්වභාවයේ පුහුණුවක් පමණි. පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසයේ නිලධාරීන්ට උපදේශනාත්මක පුහුණුවක් ලබාදීම, නිලධාරියෙක්ගේ මානසික පීඩනයක් අඩු කිරීමට අවශ්‍ය දැනුමක් ලබාදීම, ආකල්ප සමීක්ෂණ සිදු කරන ආකාරය දැනුවත් කිරීම වැනි දෑ ක‍්‍රියාවට නැගුවොත් එම අංශයෙන් කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු විය හැකිය. තවද පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත්ව යන අවස්ථාවන්හිදී එම නිලධාරීන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා දුක්ගැනවිලි අනාවරණය කර ගැනීමට පොලිස් දුක්ගන්නා කොට්ඨාසය වග බලා ගත යුතුව ඇත.

පොලිස් නිලධාරීන් යනු වෙනත් රටකින් ආනයනය කරන ලද පිරිසක් නොවේ. මෙරටේ ඉපිද මෙරටේ සම්පත් වලින් හැදී වැඩි සිටින මේ රටේම මව්පියන්ගේ දු දරුවන්ය. මේ බව සෑම පොලිස් නිලධාරියෙක්ම භාවනාවක් සේ ප‍්‍රගුණ කර ගත යුතුව ඇත. යම්කිසි අවශ්‍යතාවක් සඳහා පොලිසියට පැමිණෙන පුරවැසියකු ආදරයෙන් පිළි ගැනීමටත් කරුණාවෙන් යුතුව ප‍්‍රශ්න විසඳා බැලීමටත්, මිත‍්‍රශීලීව කරුණු පහදා දීමටත් පුරුදු විය යුතුව ඇත. පොලිස් මානව සම්පත දිගුකාලීන සංවර්ධන වැඩසටහන්වලට යොමු කිරීමද කාලෝචිතව ඇත.

චිත්තවේග බුද්ධිය (Emotional Intelligence) වර්ධනය, මෘදු කුසලතා (soft skills) වර්ධනය වන අයුරින් එවැනි සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. එනම් පොලිස් නිලදරුවා දැනුමට එහා ගිය සෙසු නිලධාරීන් සමග එක් වී වැඩ කිරීමේ හැකියාව, තමන්ගේ ප‍්‍රධානියාට ගරු කිරීම, සහයෝගිතාවය, අන්‍ය මතවලට ගරු කිරීම වැනි කුසලතා එතුළින් මතු වේ. ශ‍්‍රී ලංකා පොලිසිය විසින් පුහුණුව හා සංවර්ධනය ලබා දීමේදී ඉහළ තනතුරු හොබවන නිලධාරීන්ට සංකල්පනාත්මක කුසලතා වර්ධනය වන අයුරින් වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. එවිට සාම්ප‍්‍රදායික සිතුවිලි වලින් බැහැරව උපක‍්‍රමික ලෙස වඩාත් පුළුල් ක‍්‍රියාමාර්ග ඔස්සේ පොලිසිය සමස්ත සංවිධානයක් ලෙස බලා කටයුතු කිරීමට උසස් නිලධාරින්ට හැකියාව ලැබේ.

පොලිසිය භාරව කටයුතු කරන ආයතනවල උසස් නිලධාරීන්ට පොලිසියක සත්‍ය කාර්යක්ෂමතාවය සොයා බැලීමට කළ හැකි එක් ක‍්‍රියාමාර්ගයක් නම් සාමාන්‍ය පුරවැසියෙක් ලෙස පොලිස් ස්ථාන වලට ගමන් කර මහජන සේවය ඉටු කරන ආකාරය සොයා බැලීමය. අතීතයේ මෙරට රජ කළ ගජබා රජු ද සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මහජනතාව අතරට ගොස් රටේ ප‍්‍රශ්න සම්බන්ධව මහජන අදහස් ලබා ගෙන ඇත. වර්තමානයේ එය ඒ ආකාරයටම කිරීමට අපහසු වුවත් පොලිස් ස්ථානයක පවතින මහජන අදහස් හා පැමිණිලි පෙට්ටි හෝ පරීක්ෂා කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් හදා ගත යුතුව ඇත.

ලෝක ආර්ථික සංසදය පළ කරනු ලැබූ තොරතුරුවලට අනුව විශ්වසනීයත්ව පොලිස් සේවාවක් ලබාදීම යටතේ ලොව ඉහළම ස්ථානයේ සිටින ෆින්ලන්ත පොලිසිය සතුව ඉන්නේද 7300 කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් වුවද ඔවුන් එම සීමිත නිලධාරීන් ගණන මනා ලෙස කළමනාකරණය කරනු ලැබ ඇත. ශ‍්‍රී ලංකා පොලිසිය සතුව 85000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් සිටිය ද පොලිස් ස්ථාන අතර නිවැරදි ලෙස ඔවුන් ස්ථානගත වී නොමැත. එම නිසා පොලිස් මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය මෙම තත්ත්වය මග හරවා ගැනීමට වාර්ෂික සැලසුම් නිවැරදි ආකාරයට පිළියෙල කළ යුතුව ඇත.

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබා දෙන සෑම අවස්ථාවකදීම ඊට ප‍්‍රතිවිරුද්ධව අධිකරණයට යන නිලධාරීන් පිරිසක්ද ඇත. උසස්වීම් ලබාදුන් ආකාරයේ පවතින අක‍්‍රමිකතා එහිදී අභියෝගවලට ලක් වේ. එම නිසා සෑම පොලිස් නිලධාරියෙක්ගේම කාර්යක්ෂමතා ඇගයීම, රැකියාවට අදාළ කටයුතු සිදු කර ඇති ආකාරය සම්බන්ධව වාර්ෂිකව විධිමත් අයුරින් සිදු කර අඩුපාඩු සහිත නිලධාරීන්ට නිසි පුහුණුව හා සංවර්ධනය ලබා දිය යුතුව ඇත. එය පොලිස් උසස්වීම් ක‍්‍රමවේදයන්ට මහඟු අත්වැලක් වනවා නොඅනුමානය. බොහෝ පොලිස් නිලධාරීන් නිසි කලට උසස් වීම් ලබා නොමැති නිසා මානසික පීඩනයකින් යුක්තව රාජකාරි කටයුතුවල නිරත වේ. විවිධ රටවලින් භෞතික සම්පත් ලබාගෙන පොලිසිය දියුණු කර ද පොලිස් නිලධාරියා සතුටින් රාජකාරියේ යෙදවීමට ඔවුන්ගේ උසස්වීම් නිසි අයුරින් පිරිනැමීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසියේ උසස් නිලධාරීන් නිසි ක‍්‍රමවේද සැකසිය යුතුව ඇත. ඇතැම් නිලධාරීන් වසර ගණනාවක් එකම ශ්‍රේණියේ සේවය කරනු ලබන අතර පොලිසිය තුළ ආතතිකාර තත්ත්වයක් නිර්මාණය කිරීමට මෙකී උසස්වීම් ලබාදීමේ නිශ්චිත කාර්ය පටිපාටියක් නොමැති වීම ඍජුවම බලපා ඇත.

පොලිස් මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීමේදී රත් වූ උදුන් නීතිය (Hot Stove Rule) අනුගමනය කළ යුතුව ඇත. එම රීතියට අනුව පළමුවෙන් අවවාද ලබාදීම, ඉන්පසු වරදක් සිදු වුවහොත් විගස දඬුවම් ලබාදීම, වරදේ ප‍්‍රමාණය අනුව දඬුවම් ලබාදීම, කුමන තරාතිරමේ නිලධාරියෙක් වරදක් සිදු කළද දඬුවම් ලබාදීම වැනි දෑ විස්තර කරයි.

නීතිය ගැන මෙන්ම මහජනතාවගේ සිතුම් පැතුම් හා ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති ප‍්‍රජා පොලිස් නිලදරුවන් බිහිකිරීමේදී පොලිස් මානව සම්පත් අප ජීවත් වන 21 වන සියවසට අනුව කළමනාකරණය කිරීම කාලීනව සිදු කළ යුත්තකි.

ශ‍්‍රී ලංකා පොලිසියේ මානව සම්පත් කළමනාකරණය

දසුන් රත්නායක
කථිකාචාර්ය කළමනාකරණ අධ්‍යයන අංශය
ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය
පල්ලෙකැලේ, මහනුවර.

advertistmentadvertistment
advertistmentadvertistment