ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩාවට වැඩ වැඩි වසරක් – පාලිත ප‍්‍රනාන්දු මහතා

128

නව වසරේදී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා  තරගාවලි පහළොවකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ හේතුවෙන් 2022 වසර  ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩාවට අතිශයින්ම කාර්යබහුල වසරක් බවට පත් වී තිබේ.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩාවට වැඩ වැඩි වසරක් - පාලිත ප‍්‍රනාන්දු මහතා

ලබන 10 වැනදා සිට බංගලදේශයේ පැවැත්වීමට නියමිත බංගබන්දු ශෙයික් මුජිබර් රහමන් ආරාධිත ජාත්‍යන්තර ඩකා මැරතන් තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි වන මලල ක‍්‍රීඩා ජාත්‍යන්තර තරගාවලි ආරම්භ වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරගාවලිය, ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය, ආසියානු ක‍්‍රීඩා උළෙල, ගෘහස්ථ ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය, ආසියානු ග්‍රොන් ප‍්‍රි තරගමාලාව, ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය ශ‍්‍රී ලංකාව සහභාගි වීමට නියමිත ප‍්‍රධාන ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගාවලි වේ.

මේ අතරින් ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු තබා තිබෙන තරගාවලිය ලෙස ආසියානු ක‍්‍රීඩා තරගාවලිය හැඳින්විය හැක. ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ආයතනයේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේ දී පදක්කම් පහක් පමණ ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි. ඒ සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වනු ඇති බවට තමන්ට විශ්වාස බව ද මලල ක‍්‍රීඩා ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේය.

ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේ අවසන් තේරීම් තරග ලෙස 100 වෙනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතා  තරගාවලිය යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර 2022 වසරේදී ශත සංවත්සරය සැමරීමට සූදානම් වන  ශ‍්‍රී ලංකා මණ්ඩල ක‍්‍රීඩා ආයතනය ඒ වෙනුවෙන් ද දේශීය තරගාවලි ගණනාවක් සැලසුම් කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල අගෝස්තු මාසයේ දී එංගලන්තයේ බර්මින්හැම් හිදී ද, ආසියානු ක‍්‍රීඩා උළෙල චීනයේ හැන්සුයු හිදී සැප්තැම්බර් මාසයේ දීද පැවැත්වීමට නියමිතය.

කනිෂ්ඨ මලල ක‍්‍රීඩකයන් ඉලක්ක කර පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශුරතා තරගාවලිය කුවේට් හිදී ද, විසි වෙනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය කොරියාවේදී ද ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය කොලොම්බියාවේ හිද පැවැත්වීමට නියමිත අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ මලල ක‍්‍රීඩකයින් රැසක් එම තරගාවලියන් සඳහා ද යොමු කිරීමට අපේක්ෂිත බව මලල ක‍්‍රීඩා ආයතනයේ උප සභාපති ජී.එල්.එස්. පෙරේරා මහතා පැවසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment