ශ‍්‍රී ලාංකික චිත‍්‍රපටයක්වන ‘නෙලා’ රියාද් හිදී තිරගතවේ

198

සෞදි අරාබි රාජධානියේ ඉන්දියානු තානාපති කාර්යාලය රියාද් හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු දූතමණ්ඩල කිහිපයක සහයෝගය සහිතව සංවිධානය කරන ලද ‘තානාපතිවරයාගේ තේරීම: චිත‍්‍රපට උළෙල’ නමැති චිත‍්‍රපට උළෙල හි අංගයක් ලෙස බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘නෙලා’ නමැති ශී‍්‍ර ලාංකික චිත‍්‍රපටය පසුගිය මස 28 වැනි දින ප‍්‍රදර්ශනය කළේය. රාජ්‍යතාන්ත‍්‍රික සේවයේ නියුතු පිරිස්, සෞදි අරාබි ජාතිකයින්, ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවේ සාමාජිකයන් සහ මෙම රාජධානියේ වෙසෙන විදේශිකයන් කිහිපදෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

 මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට පෙර තම අදහස් දැක් වූ සෞදි අරාබි රාජධානියේ ශ‍්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මහතා ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කළේය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම නිහඬ චිත‍්‍රපටයවන ‘රාජකීය වික‍්‍රමය’ 1925 වර්ෂයේ දී තිරගත කිරීමත් සමග ම ආරම්භ වූ ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව එතුමා සඳහන් කළේය. ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට නව ජීවයක් ලබා දෙමින් සිය නිර්මාණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකර ගත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් , තිස්ස අබේසේකර , චන්ද්‍රන් රත්නම් , ආචාර්ය ඞී. බී. නිහාල්සිංහ , උදයකාන්ත වර්ණසූරිය , එච්. ඞී. පේ‍්‍රමරත්න , අශෝක හඳගම , ප‍්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන මහත්වරුන් වැනි ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ විශිෂ්ට දායකත්වය පිළිබඳව තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 20 වැනි සියවස මුල් භාගයේ පැවැති ශ‍්‍රී ලංකාවේ තේ වගා යුගය පාදක කරගනිමින් මෙම චිත‍්‍රපටය නිර්මාණය වී ඇති බවත් අදටත් ඉහළ ගුණාත්මක මට්ටමක් සහ උපරිම මානව මැදිහත්වීමක් යටතේ ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයවන බවත් එමගින් එහි ගුණාත්මකභාවය තහවුරු වී ඇති බවත් තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

 විවිධ ප‍්‍රභේදවලින් තෝරාගත් චිත‍්‍රපට 12 ක් මෙම උළෙල තුළ ප‍්‍රදර්ශනය කෙරෙන අතර ඉන්දියාවේ ‘නිල් බට්ටේ සන්නාටා’, ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හැමිල්ටන්’ සෞදි අරාබියේ ‘ස්කේල්ස්’, ඔස්ටේ‍්‍රලියාවේ ‘ගුරුමුල්’ සහ මෙක්සිකෝවේ ‘මෙසකිට්ස් හාර්ට්’ වැනි කීර්තියට පාත‍්‍ර වූ චිත‍්‍රපට ද මීට ඇතුළත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment