ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ මව්පියන් පිළිබඳ සැඟවුණු තොරතුරු

3747

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු පිළිබඳව ගොඩනැ`ගී ඇති ජනප‍්‍රවාද උපයෝගී කරගෙන ඇතැම් ඉතිහාසඥයන් සඳහන් කරනුයේ ඔහු ලංකාවේ උප්පත්තිය ලද කුමාරයෙකු බව සහ ඔහු වැන්දඹු රාජ මහේෂිකාවකගේ සොහොයුරියකට පිළිමතලව්වේ නැමති ප‍්‍රබල රදළවරයාට දාව උප්පත්තිය ලද කුමරෙකු බවත් ය. එසේම තවත් කථා පුවතකට අනුව කන්නසාමි කුමාරයා පිළිමතලව්වේ අදිකාරමගේ අවජාත දරුවකු වශයෙන් ද සඳහන් වේ. එසේම මදුරාපුර රාජ පරම්පරාවත නැමති පුස්කොළ ලේඛනයට අනුව ද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේ අදිකාරමට දාව ඉපදුණු කුමාරයෙක් බවට සඳහන් වේ. ඒ අනුව පිළිමතලව්වේට මරණ දණ්ඩනය හිමිකර දීමෙන් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු පීතෘ ඝාතනයේ නියලූණු බවට ප‍්‍රකාශ කොට ඇත්තේ ද එවැනි කරුණක් මූලික කොටගෙන බව ඇතැම් විද්වතුන් අර්ථගන්වා ඇත. එහෙත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේ මහාදිකාරමගේ පුත‍්‍රයෙකු බව සනාථ කිරීමට තරම් ප‍්‍රබල සාක්ෂි කිසිවක් නොමැති වීම විශේෂයෙන් අවධාරණය කළ යුතුය. එය ද අදිකාරම්වරයා සහ රජුගේ මව අතර පැවතියා යැයි කියනු ලබන අනියම් සබඳතාවය හේතුවෙන් ජනප‍්‍රවාදගත වූවක් වශයෙන් නිගමනය කිරීම උචිත ය.

එසේම ඇතැම් දේශීය උගතුන් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ පියා ලෙස පිළිමතලව්වේ මහාදිකාරම් හදින්වීමට පැකිලීමක් දක්වන අතර ඔවුන් ප‍්‍රකාශ කරනුයේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ වූ කලී රාජාධිරාජසිංහ රජුගේ නීත්‍යානුකූල නොවූ දරුවකු වශයෙනි. ඊට ප‍්‍රධාන සාධකය වශයෙන් ඔවුන් උපයෝගී කරගනුයේ ක‍්‍රි. ව. 1803 දී ලංකාවේ සංචාරය කළ ජෝර්ජ් වයිකවුන්ට් වෙලැන්ෂියා (George Viscount Valentia) විසින් රචිත Voyage and Travels to India, Ceylon, The Red Sea, Abyssinia and Egypt ග‍්‍රන්ථයේ දී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අවජාතක පුද්ගලයෙකු ලෙස හැදින්වීමේ පුවතය. නමුත් එම ප‍්‍රකාශය ද සත්‍ය වශයෙන්ම පිළිගත හැකි පුවතක් වශයෙන් හඳුනාගැනීමට අපහසුය. ඊට හේතු වනුයේ දේශීය මූලාශ‍්‍ර තුළ කිසිදු විටෙක ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ උපත සම්බන්ධයෙන් එවැනි කරුණක් සඳහන් නොවන බැවිනි. එපමණක් කන්නසාමි කුමාරයා කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට දාව උප්පත්තිය ලද කුමාරයකු වශයෙන් ද හඳුනාගැනීමට උත්සහ කරණු ලබයි. නමුත් මූලාශ‍්‍රගත තොරතුරු අධ්‍යයනයේ දී කන්නසාමි කුමරුගේ පියා පිළිබඳව නිශ්චිතවම කරුණු හඳුනාගැනීම අපහසුය. ඊට හේතු වනුයේ එම පුවත ජනප‍්‍රවාදගත තොරතුරු රැසක් සමඟ බද්ධ වී පැවතීමය. එහෙත් මෙකී ජනප‍්‍රවාදගත පුවත්වලට වඩා විශ්වසනීය පුවතක් ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ චරිතය (උඩරට පුරාණ මූලදෑනින්ගේ ලේකම් මිටිය) නැමති පුස්කොළ ලේඛනය තුළින් හමු වේ.
එහිදී ”…ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නරෙන්‍ද්‍රතුමා ලෝක ප‍්‍රසිඞ තෙළ`ගු රාජ්‍යයේ වාසය කල ජෙන්තු රාජාවලියට ඇතුලත්තායිදු, නොහොත් නායක්කර් නම් ක්‍ෂත‍්‍රිය වංසයට අයත් කලක් රාමේස්වරම් දේවාලයෙ පණ්ඩාරම්කමට පත්ව සිටි වෙන්ගඩ පෙරුමාල් නායක්කර් නම් ක්‍ෂත‍්‍රිය කුමාරයාට දාව සුබ්බම්මා කුමාරිකාවගෙ කුසිං ක‍්‍රිස්තු වරුෂ එකදාස් හත්සිය අසූවේ දි රාමේස්වරම් වීපයේ දි ජනිත විය…’’

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ මව්පියන් පිළිබඳ  සැඟවුණු තොරතුරු

වශයෙන් සඳහන් වේ. එම ලේඛනයට අනුව කන්නසාමි කුමාරයාගේ මවගේ සහ පියාගේ නාමයන් හෙළි වේ. ඒ අනුව කන්නසාමි කුමරුගේ පියා වෙන්ගඩ පෙරුමාල් හෙවත් වෙන්කත පෙරුමාල් නැමති නායක්කර් වංශිකයෙකු බවට හඳුනාගත හැකිය. එසේම මව සුබ්බම්මා කුමරිය වශයෙන් හඳුන්වා ඇත. එසේම මෙහි එන වැදගත් ප‍්‍රකාශයන් ද්විත්වයක් වශයෙන්

”…ක‍්‍රිස්තු වරුෂ එකදාස් හත්සිය අසූවේ දි රාමේස්වරම් වීපයේ දි ජනිත විය…’’ යන්න සහ ”…ගම්පල නායක්කනම් තැනැත්තා සමග සමුද්ද්‍ර තරණය කිරීමෙන් විදේසීය රටක් වූ ලංකාවට අවතීනනව…’’ යන ප‍්‍රකාශයන් හඳුනාගත හැකිය. එම පාඨවලට අනුව කන්නසාමි කුමරු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ප‍්‍රදේශයේ උපත ලබා පසුව කුඩා කාලයේ දී ම සිය මව සහ ඥාති පිරිසක් සමඟ ශ‍්‍රී ලංකාවට පැමිණි ඇති බව පෙනීයයි. එබැවින් කන්නසාමි කුමරුගේ පියා සම්බන්ධයෙන් ඇති ජනප‍්‍රවාදගත පුවත්වල සත්‍යතාවය සහ ඔහු දිවයිනෙහි උපත ලද බවට සඳහන් පුවතෙහි සත්‍යතාවය බිඳවැටෙන ආකාරයක් හඳුනාගත හැකිය.

එසේම අලූත් දෙවි කතාව නමින් හඳුනාගනු ලබන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දේවත්වයෙන් වර්ණනා කොට ඇති පුස්කොළ ලේඛනය තුළ ද රජු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ප‍්‍රදේශයේ උපත ලබා ඇති බවට සඳහන් වේ. එහිදී,

කවිය 18

දකුණු එ මදුරා පුර උපදින් නේ
ලකුණු මෙසිංහල දිවස් බලන් නේ
දෙමල එ යක්සෙන් පිරිවර ගන් නේ
සිංහල දේසෙට වැඩමවමින් නේ

යනුවෙන් සඳහන් වේ. එබැවින් ඇතැම් උගතුන් විසින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දිවයිනේ උපත ලද බවට සඳහන් කරනු ලබන පුවත සහ ඔහුගේ පිය පාර්ශ්වය පිළිබඳව දක්වා ඇති නිගමනයන් සාවද්‍ය බවට හඳුනාගත හැකිය.

එසේම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ පියා වෙන්කත පෙරුමාල් නම් නායක්කර් වංශිකයෙකු බව ජොන් ඩොයිලි විසින් ද සිය දින පොතේ සඳහන් කර තිබීමෙන් මෙහි විශ්වසනීයත්වය වඩාත් තහවුරු වේ. එමෙන්ම කපිතාන් එල්. බුෂේ විසින් සිය ලංකාව ගැන ලියුම් නැමති වාර්තාව තුළ දී ”…ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ මලබාර් වෙරළෙන් පැමිණි විදේශිකයෙකි…’’ වශයෙන් සඳහන් කර ඇති බැවින් නිශ්චිත වශයෙන්ම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඉන්දියාවේ උප්පත්තිය ලබා පසුව කුඩා කාලයේ දී දිවයිනට පැමිණ ඇති බව ගම්‍ය වේ.

ඒ අනුව වෙන්කත පෙරුමාල් නැමති නායක්කර් වංශික පුද්ගලයකුට දාව සුබ්බම්මා නැමති කුමරිය කුමරියගේ කුසින් දක්ෂිණ භාරතයේ දී උපත ලද පුද්ගලයෙකු වශයෙන් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු හඳුනාගැනීම වඩාත් යෝග්‍ය වේ. ඒ අනුව රාජාධිරාජසිංහ රජු හට බිසෝවරුන් පස් දෙනකු සිටි බවට වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අලමේලූ අම්මා නැමති පළමු බිසව සහ රෙංගනායගි අම්මා නැමති තුන්වන බිසව සහෝදරියෝ වූහ. නමුත් රජුගේ දෙවන බිසව වූ උපේන්‍ද්‍රම්මා නැමති බිසව ඉහත කී බිසෝවරු දෙදෙනාගේ සුළු පියකුගේ දියණියක් වී ඇත. ඒ අනුව උපේන්‍ද්‍රම්මා බිසවට කොණ්ඩසාමි හෙවත් ගම්පළනායක්කර් නම් සහෝදරයෙක් සහ සහෝදරියක් සිට ඇත. මෙකී සහෝදරියට කන්නසාමි නැමති කුමාරයෙක් සිටි බවට ද වාර්තා වී ඇත. ඒ අනුව මෙම සුබ්බම්මා නැමති කුමරිය රාජාධිරාජසිංහ රජුගේ දෙවන බිසවගේ සහෝදරියක් වූ බවට පැහැදිලිය.

නමුත් ඇතැම් විද්වතුන් කන්නසාමි කුමරු රාජාධිරාජසිංහ රජුගේ සොහොයුරියකගේ පුත‍්‍රයකු වශයෙන් සඳහන් කොට ඇත. එහෙත් එම ප‍්‍රකාශය සනාථ වන කිසිදු ඓතිහාසික මූලාශ‍්‍රයක් හෝ කථාපුවතක් හෝ නොමැති බැවින් එය සත්‍ය නිගමනයක් වශයෙන් ගත නොහැකි අතර කරුණු සාවද්‍ය ලෙස අවබෝධ කර ගැනීමෙන් ඇති වූවක් වශයෙන් හඳුනාගත හැකිය. එහෙත් වෛද්‍ය ජෝන් ඬේවි විසින් රචිත An Account of The Interior of Ceylon and Inhabitants With Travels in That Island නැමති ග‍්‍රන්ථය තුළ දී කන්නසාමි කුමරු රාජාධිරාජසිංහ රජුගේ වැන්දඹු බිසවකගේ සහෝදරයෙකු වශයෙන් හඳුන්වා ඇත. එසේම Henry Sirr විසින් රචනා කොට ඇති Ceylon and the Cingalese (ලංකාව සහ සිංහලයෝ) නැමති ඉංග‍්‍රීසි වාර්තාව තුළ සඳහන් කොට ඇත්තේ ”…ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නමින් මහනුවර සිංහාසනයට නංවන ලද්දේ අභාවප‍්‍රාප්ත රජුගේ බිසෝවරුන්ගෙන් කෙනකුගේ බෑණනු කෙනෙක් ද නැතහොත් රජුගේ අනියම් භාර්යාවන්ගෙන් කෙනකගේ සහෝදරියකගේ පුතෙක් ද යන්න ගැන ඉතිහාසඥයෝ ඒකමතික නො වෙති…’’ යනුවෙනි. මෙලෙස ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ මව පිළිබඳව ද මූලාශ‍්‍රගත තොරතුරු අතර ඒකමතිකභාවයක් නොමැති බව පෙනීයයි.

එසේම මහාවංසය තුළ සඳහන් වන්නේ ”…රාජාධි රාජසිංහ රජුගේ බෑනා වූ ජන නායක තෙමේ ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ යන නමින් ධෛර්ය ඇතිව රජවූයේ…ට් වශයෙනි. ඒ බව පහත ගාථා පාඨය තුළින් ද හඳුනාගත හැකිය. එනම්,

රාජාධිරාජසීහස්ස භාගින්‍යොයො ජනාධිපො
සිරිවික්කමරාජසීහො ධිතිමා මණ්ඩලිස්සරො

වශයෙනි. මෙසේ මහාවංස ගත පුවතට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රාජාධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකු වශයෙන් හඳුන්වා ඇති බව පෙනීයයි. එසේම සුළු රාජාවලිය ග‍්‍රන්ථය තුළ ද ”…ඒ රජු ඇවෑමෙන් එම මහරජාණන්ගේ බෑනා වන රාජ කුමාරයෙක් අන්ධකාරයෙහි මහ ගිනි කඳක් සේ පැන නැගී ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ මහරජාණෝය යන නමින්...’’ යනුවෙන් සඳහන් වේ. එසේම ක‍්‍රි. ව. 1820 දී හෝ ඊට ආසන්න කාලයක දී රචනා කොට ඇති රාජවල්ලිය නැමති පුස්කොළ ලේඛනය තුළ අන්තර්ගත වී ඇත්තේ ”...ඒ රජ ඇවෑමෙන් ඒ රජානන්ගේ බෑනා වූ රාජකුමාරයෙක් බුධ වර්ෂ දෙදහස් තුන්සිය එක්සාලිස් වන්නෙහි රජ පැමින ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නමින් ප‍්‍රසි`ධ වූයේ…’’ යනුවෙනි. මෙලෙස මූලාශ‍්‍ර බොහෝමයක ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රාජධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකු වශයෙන් ද හඳුන්වා තිබීම දැකිය හැකි කරුණකි. ඒ තුළින් ද ඉහත කී මතය සනාථ වන ආකාරය හඳුනාගත හැකිය. එනම් රාජාධිරාජසිංහ රජුගේ බිසවගේ සහෝදරියගේ පුත‍්‍රයා වූ කන්නසාමි කුමාරයා ඥාති සබඳතාවය අනුව රාජාධිරාජසිංහ රජුට බෑනා කෙනෙකු වීම තුළින් එය තහවුරු වේ.

එසේම මූලාශ‍්‍ර බොහෝමයක ඍජුවම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ මව පිළිබඳව සඳහන් කිරීමේ දී ඇය රාජාධිරාජසිංහ රජුගේ බිසවකගේ සහෝදරියක් ලෙස හඳුන්වා තිබීම ද දැකගත හැකිය. ඒ අනුව ශ‍්‍රී වික‍්‍රමරාජසිංහචරිතය කවි නැමති අමුද්‍රිත පුස්කොළ පොත තුළ සඳහන් කවියක සඳහන් වන්නේ,

19 කවිය

තෙදින යුතුවන රාජසිංහරජ දෙවෙනි බිසවුගෙ නැගනි පුතු වන
සොදින දස අටවයස් සපිරුණ කන්නසාමී කුමරු නිව (ස)න
නමින තම්පලවත්ත යයි පරසිඳු වූ ඉඩමට ගොසින් විගසින
සුගුන කන්නසාමි කුමරුට මෙසේ කීවයි ඒ මැති මෙසේ රහසින

වශයෙනි. ඒ අනුව කන්නසාමි කුමරු රාජාධිරාජසිංහ රජුගේ දෙවන මෙහෙසිය වූ උපේන්‍ද්‍රම්මා නැමති බිසවගේ සහෝදරියකගේ පුත‍්‍රයකු බවට හඳුනාගත හැකිය. එම පුවත වඩාත් තහවුරු කරමින් ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ චරිතය (උඩරට පුරාණ මුලදෑනින්ගේ ලේකම් මිටිය) නැමති අමුද්‍රිත පුස්කොළ පොතේ සඳහන් වී ඇත්තේ, ”…එවකට ලක්දිව රජකල නායක්කරිය වංසාභිජාත අසදිස ජාතකාදි ෙසෙංහලිය මහා කාව්‍යයන් කළ රාජාධිරාජසිංහ මහ රජුගෙ දෙවන බිසව වන උපෙන්‍ද්‍රම්මා රජ…යටත මවුගෙ සහොදරියක් නිසා මේ ඥාති සම්භන්‍ධය පෙරටු කොට මතු රාජ්‍යස‍්‍රිය ලැබීමට ඇති පුණ්‍ය මහිමයෙන්…’’ වශයෙනි. එපමණක් නොව හෙළදිව් රජනිය හෙවත් පුරාතන පටන් දැන් දක්වා සිංහළද්වීපයේ රාජනීතිය නැමති ග‍්‍රන්ථය තුළ ද ”…රාජාධිරාජසිංහගේ මරනින් පසු ඔහුගේ බිසෝ කෙනෙකුගේ සහෝදරීගේ පුත‍්‍ර වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නම් කුමරා…’’ යනුවෙන් සඳහන් වන අයුරු දැකිය හැකිය. එසේම තරමක් දුරට අපක්ෂපාතී සහ විශ්වසනීය මූලාශ‍්‍රයක් ලෙස ගතහැකි Henry Marshall විසින් රචනා කොට ඇති Ceylon : A General Description of the Island and of Its Inhabitants නැමති වාර්තාව තුළින් ද ඉහත කී පුවත සනාථ වේ. එහි ගෙනහැර දක්වා ඇති “…The person chosen by this minister was a Nayakara, 18 years of age, by name Kannesamy, the son of a sister of one of the queens-dowager…” යන ප‍්‍රකාශය තුළින් ද කන්නසාමි කුමරුගේ මව රාජාධිරාජසිංහ රජුගේ බිසවකගේ සහෝදරියක් බව ගම්‍ය වේ. ඒ අනුව ඉහත ප‍්‍රාථමික මූලාශ‍්‍ර සහ ජනප‍්‍රවාදගත පුවත් විශ්ලේෂණාත්මකව විමසා බැලීමේ දී කන්නසාමි කුමරුගේ පියා වෙන්ගඩ පෙරුමාල් හෙවත් වෙන්කත පෙරුමාල් නැමති නායක්කර් වංශිකයෙකු බවට සහ මව රාජාධිරාජසිංහ රජුගේ දෙවන බිසව වන උපේන්‍ද්‍රම්මා නැමති බිසවගේ සොහොයුරියක වන සුබ්බම්මා නම් කුමරිය වශයෙන් හඳුනාගත හැකිය. මෙලෙස ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ මව්පිය දෙපාර්ශ්වයම නායක්කර් වංශයට සම්බන්ධ පුද්ගලයන් ලෙස හඳුනාගත හැකි බවින් උඩරට සිහසුන සඳහා කිසිදු උරුමක් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට නොපැවති බවට ඉදිරිපත් කරන මතය සාවද්‍යය බව ගම්‍ය වේ.

එන්. ජී. ආර්. පී. වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment