ෂාෆ්ටර්ගේ දෙවැනි වාර්තාව මාස දෙකකින්

90

අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවිය හැකි බැව් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සඳහන් කළේය.

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර ගොඩ ගැනීමෙන් පසු ඉකුත් 26 වැනිදා පස්වරුවේ දී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන එනු ලැබීය. ඒ අනුව එදින රාත්‍රියේ ම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විද්වත් කමිටුව විසින් ඒ මහතාගේ මළ සිරුර සී. ටී. ස්කෑන් පරීක්ෂණයට ලක් කරන බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

පංච පුද්ගල විද්වත් කමිටුව විසින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 26 වැනිදා සිදුකරනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය එදින අවසන් කළ ද දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ලබාදීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවිය හැකි බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර නරක් නොවී හොඳ තත්ත්වයෙන් තිබූ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය. මෙකී වෛද්‍ය මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන් වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. සී. පී. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. එච්. එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුඛමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර යන මහත්වරුන්ය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment