ෂාෆ්ටර්ගේ මරණය සොයන්න – පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් උසාවිය තීරණය කරයි

96

පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිදුවූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් ද? නැතහොත් සියදිවි හානි කර ගැනීමක් ද? යන කරුණු නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා තම අධිකරණය විසින් ලබන 27 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට පියවර ගන්නා බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (22 දා) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

මේ වනවිටත් අධිකරණයට ඉදිරිපත්වී ඇති එම මරණය සම්බන්ධයෙන් වූ කොළඹ අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීකෂණ වාර්තා දෙක හා ඉදිරිපත්වී ඇති රස පරීක්ෂක වාර්තා ඇතුළු අනෙකුත් කරුණු අනුව එම මරණය සිදුවූ ආකාරය ප්‍රශ්නසහගත බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

එම මරණය සම්බන්ධයෙන් ඉදිරි මරණ පරීක්ෂණ කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම තම අධිකරණයේ අභිප්‍රාය වන්නේ යැයි ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය කීවාය.

එම මරණකරු රෝහලට ඇතුළත් කළ දිනයේ ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර, රෝගියාගේ ඇඳඉහපත් අංකය ඇතුළු තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නැවත

සිහිකැඳවීමක් යැවීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

අධිකරණය විසින් පසුගිය සතියේ කැඳවා තිබූ රස පරීක්ෂක වාර්තා, ඇඟිලි සලකුණු වාර්තා ඇතුළු තොරතුරු බහුතරයක් මේ වනවිට අධිකරණයට ලැබී ඇතැයි ද අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විවෘත අධිකරණය හමුවේ පැවසුවාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment