ෂාෆ්ටර්ගේ මරණය සොයන පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය නම් කරයි

117

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන කරුණ නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය. යූ. සී. ආර්. පෙරේරා, මහාචාර්ය ඩී. එල්. ඩී. ප්‍රනාන්දු, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වී. ආර්. රුවන්පුර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට ඊයේ (27 දා) පත් කළාය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 373 වගන්තිය ප්‍රකාරව අධිකරණයට පැවරී අති බලතල අනුව තම අධිකරණය විසින් පත්කළ එම කමිටුවට අධිකරණය හමුවේ ඇති පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා, රස පරීක්‍ෂක වාර්තා හා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ වෝහාරික පශ්චාත් මරණ පරීක්‍ෂණයේ වාර්තාව ඇතුළු සියලු වාර්තා වහාම ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය.

අධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ නාමලේඛන අනුව ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන තම අධිකරණය එම කමිටුව පත්කළ බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය.

එම නඩුව ලබන මාර්තු 14 වැනිදා යළි කැඳවීමට නියමිතය. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment