ෂෙඩ් එක ළඟ කකුල ඉස්සූ හමුදා නිලධාරියා ගැන  පැය 24කදී පියවරක් නොගත්තොත්  ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා – දුමින්ද නාගමුව

287

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හල අසලදී තරුණයකුගේ පපුවට පා පහර එල්ල කළ හමුදා නිලධාරියා සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා පැය විසි හතරක් ඇතුළත ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධානවලට ද පැමිණිලි කරන බව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (4දා) පැවසීය.

හමුදාපතිවරයා එසේ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එය එම නිලධාරියාගේ ප්‍රශ්නයක් නොව හමුදාවේ සැලැස්මක් ලෙස අර්ථ  ගැන්වෙන බව ද ඔහු කීවේය. එමෙන්ම මේ සිද්ධියට අදාළව මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීවේය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී නාගමුව මහතා මේ බව පැවසීය.

වැහැර කඳවුරේ හමුදා නිලධාරියකු මෙම පහරදීම සිදුකර ඇතැයි ද ඔහු කීවේය.

මෙම පහරදීම තුච්ච පහරදීමක් බවත් එය හෙළා දකින බවත් පැවසූ නාගමුව මහතා මෙය එම තරුණයාට පමණක් නොව ඉන්ධන පෝලිම්වල සිටිනා සමස්ත ජනතාවට කළ පහරදීමක් ලෙස සලකන බව ද කීවේය.

ගොවියාට කුඹුරු වැඩ කිරීමට ඉන්ධන නැතත්, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට ඉන්ධන නිකුත් කරන්නේ නැතත්, හමුදාවට සහ පොලිසියට තෙල් පුරවමින් සිටින බව ද නාගමුව මහතා පැවසීය. ජනතාවට එසේ පහරදීමට ඉඩ දිය නොහැකි යැයි පැවසූ නාගමුව මහතා මේ හදන්නේ ආණ්ඩුවට එරෙහිව නැඟී එන ජනතා විරෝධය හමුදාවේ සහ පොලිසියේ යකඩ සපත්තුවලින් පෑගීමට යැයිද සඳහන් කළේය. ජනතාවට පහර දීම වැනි නියෝග පිළිපදින්න එපා යැයි හමුදා සෙබළුන්ගෙන් ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටින ද බව ද

නාගමුව මහතා කීවේය. අත්‍යවශ්‍ය සේවා කියා ඉන්ධන ලබා ගන්නා සමහරුන් මේ වන විට ඒවායින් බිස්නස් කරන බව වගකීමෙන් කියන්නේ යැයි ද ඔහු පැවසීය. සිද්ධිය වූ ඉන්ධන පිරවුම් හලෙන් එදින සවස හතර වන තුරු ඉන්ධන නිකුත් කර හතරෙන් පසු හමුදා නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට ඉන්ධන නිකුත් කරන්නට ගත් අවස්ථාවේ එය ප්‍රශ්න කළ තරුණයකුට මෙසේ පහර දී ඇතැයි ද නාගමුව මහතා පැවසීය.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment