ෂෙඩ් ළඟ වෛද්‍යවරුන්ට එන ‘ලෙඩ’ ආණ්ඩුව භාරගත යුතුයි

161

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවා අවශ්‍යතාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමට රජය විසින් පහසුකම් සලසා ඇති ඉන්ධනහල් කිහිපයකදී ඊයේ (01 දා) වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මහජනතාවගෙන් දැඩි තාඩන පීඩන එල්ලවීමේ වගකීම රජය විසින් භාරගත යුතු බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය කියයි.

වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛතාව ලබා දෙමින් සේවා අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් සියයක් පමණ රජය විසින් ලබාදී තිබුණද කලින් ‘ටෝකන්’ ලබාගත් ඉන්ධන පාරිභෝගිකයන් ඉන්ධන හල් තුළදී වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ගැටුමට යොමුවන තත්ත්වයක් රටපුරා පිහිටි ඉන්ධනහල් වෙතින් වාර්තා වී ඇතැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද කීවේය.

වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවාවන් සැපයීම සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රමුඛතාව දීමට ක්‍රියාකරන ලෙස දන්වමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබාදී තිබියදී මෙවන් තත්ත්වයක් උද්ගතවීම කනගාටුදායකයි. රජයට පොරොන්දුව ඉටුකිරීමට නොහැකි වුණා සේම මහජනතාවට තත්ත්වය වටහා ගැනීමේ අඩුපාඩුවකුත් තිබෙනවා.

අපට ඉන්ධන ලබාදීම සඳහා රටපුරා ඉන්ධනහල් සියයක් පමණ ලබාදී තිබෙනවා. ඒ අතුරින් මාතර මැද්දවත්ත, ගාල්ල කොටුව, මහරගම, නාවින්න සහ අක්කරෙයිපත්තුව ඉන්ධනහල් තුළදී ඊයේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ජනතාවගෙන් දැඩි තාඩන පීඩන එල්ලවී තිබෙනවා. ඇතැම් ස්ථානවලදී පහරදීමටත් තැත්කර තිබෙනවා.

තත්ත්වය මේ විදිහටම පැවතියහොත් ඉදිරි සතිය තුළදී වර්ජනයකට නොගොස් ස්වයංවම රෝහල් පද්ධතියට අගුළු වැටෙයි. ඒ නිසා අපි කියන්නේ ජනපති අගමැති සහ කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදුන් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ නිසියාකාරව සිදුවෙනවාද කියා පසු විපරමක් කිරීමට රජය ක්‍රියා කළ යුතුයි කියන එකයි. මහජනතාවත් මේ පවතින තත්ත්වය තේරුම් නොගතහොත් රෝහල් පද්ධතිය කඩා වැටීම නිසැකයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment