ෂෙහාන් දුමින්ද චන්න උද්දික සහ එස් එම්ගේ නිවාසවලට ප‍්‍රහාර: ඥානක්කාගේ නිවසටත් ප‍්‍රහාරයක්

791

ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමින් ඉහළ යෑම පාලනය කර ගත නොහැකි ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ගෙදර යන ලෙස බල කරමින් පිරිසක් පෙරේදා (4දා) රාත‍්‍රී සිට පසුදා (5දා) අලූයම වනතෙක් අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ පෙළපාලියක යමින් අනුරාධපුර නගරයේ පිහිටි ඇමැතිවරු සිවු දෙනකුගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ, අනුරාධපුර නගරාධිපතිවරයාගේ සහ දේවාලයක් පවත්වා ගෙන යන කාන්තාවකගේ නිවාස වටලා ගල් මුල් ප‍්‍රහාර එල්ල කර දැඩි අලාභ හානි සිදු කළහ.

රාත‍්‍රී හතට පමණ අනුරාධපුර නව නගරයේ උද්ඝෝෂණයේ යෙදුණු පන්සියයකට ආසන්න පිරිසක් ප‍්‍රථමයෙන් අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේ පිහිටා තිබූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ නිවස අසලට ගොස් උද්ඝෝෂණයේ නිරත වී එම නිවසට ගල් සහ මුගුරු වලින් ප‍්‍රහාර එල්ල කළහ.

පසුව උද්ඝෝෂකයින් එම නිවස ආසන්නයේම පිහිටා ඇති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවස අසලට ගොස් එම නිවස ඉදිරිපිට තිබූ කට්අවුට් කඩා දමා කළහකාරී ලෙස කටයුතු කළහ.

ෂෙහාන් දුමින්ද චන්න උද්දික සහ එස් එම්ගේ  නිවාසවලට ප‍්‍රහාර: ඥානක්කාගේ නිවසටත් ප‍්‍රහාරයක්

අනුරාධපුර ඉසුරුපුර ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන ඥානවතී නමැති කාන්තාවකට අයත් අනුරාධපුර නව නුවර මාර්ගයේ පිහිටා තිබූ සුවිසල් නිවසක් අසළට ගිය උද්ඝෝෂකයන් එම නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.

එම කාන්තාවට අයත් ප‍්‍රභූවරුන් යන එන දේවාලයට පිවිසෙන ජය මාවත සහ විජය මාවතේ දමා තිබූ මුර කපොලූ කීපයක් පෙරළා දැමීමට ද මෙහිදී උද්ඝෝෂකයෝ කටයුතු කළහ.

පසුව එම පිරිස් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටා ඇති රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ කාර්යාලය පිහිටි ‘‘ජය නිවස’’ වෙත ගොස් ගල් මුල් ප‍්‍රහාර එල්ල කර, ගේට්ටුව කඩා දමා, කට්අවුට් ඉරා දමමින් පොලිස් මුර කුටියට ප‍්‍රහාර එල්ල කළහ.

ෂෙහාන් දුමින්ද චන්න උද්දික සහ එස් එම්ගේ  නිවාසවලට ප‍්‍රහාර: ඥානක්කාගේ නිවසටත් ප‍්‍රහාරයක්

පසුව එම පිරිස් අනුරාධපුර නුවර මාර්ගයේ මාතලේ හන්දිය, කුරුන්දන්කුලම ප‍්‍රදේශයේ පිහිටි කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවස වෙත ගොස් ගල් මුල් ප‍්‍රහාර එල්ල කරමින් එහි ගේට්ටුව කඩා දමමින් කළහකාරී ලෙස හැසිරුණු අතර, එහිදී අමාත්‍යවරයා විසින් නිවස ඉදිරිපිට ඉදි කෙරෙමින් පවතින සුවිසල් හෝටලයට කඩා වැදුණු පිරිස් වැටවල් කඩා දමමින් එහි ඉදිරිපස තිබූ වීදුරු බිඳ දැමීමට කටයුතු කළහ.

අනතුරුව එම නිවසේ නිවස ඉදිරිපිට මාර්ගයේ හරහා ඉදිකර තිබූ තොරණෙහි තිබූ ඡුායාරූප ඉරා දමා එම පිරිස් පිටව ගියහ.

එම උද්ඝෝෂකයන් ගමන් ගත් මාර්ගයේ අනුරාධපුර පුල්ලයාර් හන්දිය ප‍්‍රදේශයේ ඉදිකර තිබූ කැබිනට් අමාත්‍යවරයාගේ රුව සහිත විශාල ප‍්‍රමාණයේ පුවරුවක්ද, පෙරළා දැමීමට මෙහිදී උද්ඝෝෂකයෝ ක‍්‍රියා කළහ.

නැවත වරක් අනුරාධපුර නගරයට වෙත ගමන් කළ එම පිරිස් අනුරාධපුර මෛත‍්‍රීපාල සේනානායක මාවතේ පිහිටා තිබූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත‍්‍රික් ප‍්‍රධාන කාර්යාලයේ තිබූ එස්. එම්. චන්ද්‍රසේන සහ හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් යන මහත්වරුන්ගේ විශාල ප‍්‍රමාණයේ පුවරු කඩා බිඳ දමා ප‍්‍රධාන මාර්ගය වෙත රැගෙන ගොස් ගිනි තැබූහ.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උද්දික පේ‍්‍රමරත්න මහතා විසින් අනුරාධපුර නගර සභා ක‍්‍රීඩාංගණය ඉදිරිපිට කාර්යාලය පවත්වා ගෙන යන දෙමහල් නිවස වෙත ගමන් කළ පිරිස් එම නිවසට ගල් මුල් ප‍්‍රහාර එල්ල කරමින් ජනෙල් වීදුරු කඩා බිඳ දමා ඉදිරි පස ගේට්ටුවට අලාභහානි සිදු කළහ.

එම නිවසට පහර දීමෙන් පසු පිරිස අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගේ අනුරාධපුර කඩ 50, කරුණා මාවතේ පිහිටි නිවස වෙත ගොස් එම නිවසට පහර දී අලාභ හානි සිදු කළහ. රථ වාහනවල සහ යතුරුපැදිවල නැගී නළා ශබ්ද කරමින් ගමන් කළ මෙම පිරිසට කාන්තා පාර්ශවය ද එක්ව සිටි අතර ඔවුන් පැවසුවේ ජනතාවට කුසගින්න නිවා ගැනීමට නොහැකිව සිටින මේ අවස්ථාවේදී මෙම මැති ඇමැතිවරු ජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින බවය. දරුවන් නිවෙස්වල බඩ ගින්නේ සිටින විට දෙමව්පියන් පාරට බැසීම ඉදිරියේදී කිසිසේත් වැළැක්විය නොහැකි බව උද්ඝෝෂකයෝ වැඩිදුරටත් පැවසූහ.

අනුරාධපුර පිහිටි මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ කාර්යාල වලට පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාවට යොදවා සිටියදී, ප‍්‍රභූවරුන් යන එන දේවාලයක් පවත්වා ගෙන යන අදාළ කාන්තාවගේ නිවසට සහ එම දේවාලයට, පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ යුද හමුදා භට පිරිස් විශාල වශයෙන් යොදවා තිබීම විමතිය දනවන කරුණක් බවද උද්ඝෝෂකයෝ පැවැසූහ.

මෙම පිරිස් (4දා) රාත‍්‍රී හතේ සිට අලූයම තුන පමණ දක්වා පැය අටකට ආසන්න කාලයක් මෙම උද්ඝෝෂණ පෙළපාලියේ ගමන් කරමින් පහරදීම් සිදු කළහ.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – පොළොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment