සංඛ්‍යාලේඛන හදලා ෆයිල් ඒකේ  දමාගෙන හිටියම දරුවන්ට මන්දපෝෂණය හැදෙන එක අහන්නත් දෙයක්ද

116

නිලධාරීන් වහාම ගමට ගිහින් ජනතාවට සේවය කළ යුතුයි

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සූරියවැව රාජ්‍ය නිලධාරීන්ට දෙහිකපයි

සූරියවැව මන්දපෝෂණය

ජනතාවට වැඩ කරන්න කියලා එක වසමකට රජයෙන් නිලධාරීන් හය හතක්ම පත්කරලා ඉන්නවා. එහෙම තියෙද්දිත් ප්‍රදේශයේ ළමයි මන්දපෝෂණයට ගොදුරු වෙලා නම්, ළමයි පාසල් යන්නේ නැතිනම් මිනිස්සුන්ගේ ජීවනෝපාය අහිමිවේගෙන යනවා නම් එම වසමේ නිලධාරීන්ගේ රාජකාරී කිරීමේ යම් ගැටලුවක් තියෙන බවයි පැහැදිලි වෙන්නේ. ගම් තුළ ජනජීවිත පිළිබඳ තත්ත්වය මේක නම් මේ මොන වෘත්තීය සමිතිය තිබුණත් වැඩක් නෑ. වෘත්තීය සමිති තියෙන්න ඕනේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගත්ත විතරක් නෙමේ. අනික මිනිස්සුන්ගේ මළ කඳන් උඩින් ගිහින් දිනාගන්නා වෘත්තීය අයිතිවාසිකම්වලිනුත් ඇති වැඩක් නෑ. ඒ නිසා වහාම නිලධාරීන් ගමට ගොස් ඒ ඒ පවුල් ඒකක පිළිබඳව සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නැයි හම්බන්තොට දිස්ක්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසීය.

දිස්ත්‍රිත් ලේකම්වරයා මේ බව පැවසුවේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය 23 වැනි දින සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී කැඳවා තිබූ රැස්වීමක් අමතමිණි.

මෙහිදී සූරියවැව කොට්ඨාශයේ ආහාර සුරක්ෂිතතාවය, පෝෂණ ඌණතාව පවතින පවුල් සඳහා ක්‍රියාත්මක කළයුතු වැඩපිළිවෙල, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමිවී සිටින පවුල් හා පුද්ගලයන් සඳහා ගතහැකි ක්‍රියා මාර්ග නිසි පරිදි නොගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ව දිසාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක් විය.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් ඇමතූ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් මෙලෙස පැවසීය.

මේ ඉන්නේ උගත් බුද්ධිමත් පිරිසක්. ඒ නිසා මේ ගැටලුවේදී අරයාගේ ඇඟට මෙයාගේ ඇඟට මේ ප්‍රශ්නය දමලා වැඩක් නෑ. හැමෝම එකට එකතු වෙලා කටයුතු කළොත් විතරයි ගමේ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් දෙන්න පුළුවන් කම තියෙන්නේ. ග්‍රාමසේවා වසම් 21 විස්තර ෆයිල් එකේ දමාගෙන හිටියට වැඩක් නෑ. ගමේ පවුල් වෙත ගිහින් ඒ පවුල් පිළිබඳව නිසි වාර්තා ගන්නේ නැත්නම්. වාර්තා ගත්තත් වැඩක් නෑ ඒ පවුල් සඳහා යම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නේ නැතිනම්. ඒ ඒ පවුල් එදා හිටිය තත්ත්වයෙන් නෙමේ අද ඉන්නේ. සංඛාලේඛනවල මොනවා තිබුණත් වැඩක් නෑ ජනතාව කන්න නැතිව හාමතේ ඉන්නවා නම්, ළමයින් මන්දපෝෂණයට ගොදුරුවෙලා නම්, අනික තමයි චක්‍රලේක නිකුත් කරලා තියෙන්නේ වැඩකටයුතු පහසු කරන්න මිසක් නිලධාරීන්ට සීමා පනවන්න නෙමේ. ඒ නිසා මොන චක්‍රලේඛ නිකුත් කර තිබුණත් නිලධාරීන් හැටියට ගම් මට්ටමෙන් අපට කළ හැකි දේවල් තියෙනවා. නිලධාරීන් ලෙස මේ අය කරන්න ඕනේ චක්‍රලේකවල හිරවෙලා ඉන්න එක නෙමේ. ගම්වලට  ගිහින් ඒ ඒ ජනජීවිත පිළිබඳව සොයා බලා ජනජීවිත  නඟාසිටුවීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවීමයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment